Monday, June 29, 2015

41 නික්මණ

ඇය උදෑසන පිබිදෙන විට ඔහු සයනයේ නොසිටියේය. හනි හනිකට ඇඳුමද සකස් කරගත් ඕ නැගිට ඔහු කුස්සියේවත් වෙත්දැයි බලන්නට යන්නට වූවාය. ඇය පිබිදෙන විට ඔහු පහුගිය කාලයේම ඇය අසලම සිටියේය. නමුත් කවර හෝ මොහොතක ඔහු නොසිටීවි යැයි සැකයක් ඇය තුල කලක සිටම විය. එහිද ඔහු නැත්තෙන් නම කියා හඬ ගෑවාය. නමුත් ඔහු ඒ කො‍හේවත් නොවීය. ගෙයිහි තවත් සොයන්නට තැනක් නොමැත්තෙන් මහත් බීරාන්ත සිතිවිල්ලක්ද රැගෙන ඇය ළිද ළඟටද ගියාය. නමුත් ළිඳ තුළ ඇය දුටුවේ රැලි නැංවෙන ඇගේම රූපයක් පමණි. අඩි දෙක තුනක් තබා වැට අයිනට ගිය ඇය අල්ලපු නිවසේ ගැහැණියට කථා කළාය.

ගෝතමී අක්කේ....ගෝතමී අක්කේ....

යසෝගේ හඬ අසා එළියට පැමිණි ගෝතමී ඇයගේ ස්වරූපය දැක බිය වූවාය. ගෝතමී සිතුවේ විළිරුදාව නිසාවෙන් ඇය මෙසේ කෑ ගෑවා කියාය. නමුත් සිද්ධාර්ථ ඇය ගැබ්බර වූ දා පටන් පෙර මෙන් ගමන් බිමන් නොගියේය. ඇය තනිකොට යන්නේ නම් අනිවාර්යෙන්ම ගෝතමියට ඇයව බාර කර ගියේ කුඩා කල සිටම ගෝතමීය ඔහු කෙරේ දැක්වූ සහෝදර පංති බැඳීම නිසාවෙනි.

අනේ අක්කේ.....

ඇයට කියාගන්නට ලැබුනේ අඩක් පමණකි. උගුරේ සිරව ගිය ඉකියක් ඉතිරි අඩ ගිල දැමුවේය.

මොකද නංගියේ උඹට අමාරුද ?

නමුත් ගෝතමීගේ පැනයට උත්තර දීමට යසෝගේ ඉකිය ඉඩක් නොදන සෙයකි.

අක්කේ.කේ..ඒඒ සිද්ද්ධා නෑ...

මොකක්

එයා නෑහ් හ්....

ගෝතමී හනි හනිකට උඩින් හැඳ සිටි චීත්තය උනා ජනෙල් පඩිය උඩ දමා වැට දිරා ඉනි බිඳී තිබූ කෙටි පාරින් යසෝ වෙත ආවාය.

ඇයි නංගියෙ හොඳට බැලුවද ? ඊයෙ කිව්වෙ නැද්ද කොහේවත් වැඩක් තියෙන වගක්වත් ?

අනේ නෑ අක්කේ දැන් වෙනදා වගේ යන්නෙ නැහැනෙ. ගියත් කියලනෙ යන්නෙ.....

සිද්ධාර්ථගේ අතුරුදහන් වීම ලැව් ගින්නක් සේ පැතිර ගියේය. සිය සහෝදර සගයෙකුගේ ජීවිතය ඔවුනට කඳිම පුවතක් විය. ඉඳින් රූපවාහිනී, පුවත් පත් සියල්ලෝම ජනමාධ්‍ය සදාචාරය අකුරටම ක්‍රියාත්මක කළෝය. පොලිසිය පිළිබඳ ඇමතිතුමා පොලිසිය ගැන හොඳින් දන්නා නිසාවෙන් හා ඒ ඇත්තන්ට  කසිප්පු තිප්පලක් වැටලීම හෝ හරකෙකු නැතිවීම පිළිබඳව සෙවීම වැනි කටයුතු රාශියක් ඇති නිසා මේ පිළිබඳව පරීක්ෂණ කිරීමට ඇමතිතුමා රහස් පොලිසිය වෙත පැවරුවේය.

චාරිත්‍රයක් ලෙස ළඟම තිබුනු පොලිස් ස්ථානයෙන් කල පරීක්ෂණ අනුව ලබාගත් කට උත්තරයකින් කියැවුනේ තමන් රෑ දෙකට පමණ සිද්ධාර්ථට පත්තරයේ කරුණක් පිළිබඳව දුරකථනයෙන් කතා කරමින් සිටි බවත්  (සිය බිරිඳ ඇහැරෙන බැවින් ඔහු නිවසින් පිටත මහ පාරට පැමිණ ඇත) වේගයෙන් පැමිනි වාහනයක තිරිංග හඬ ද, කලබලයක හඬද එසැණින් යළි වාහනය වේගයෙන් පිටව යන හඬද ඇසුනු වගයි.

ඒ සිද්ධාර්ථ සේවය කල පුවත් පතේ කර්තෘය. නමුත් රහස් පොලිසිය මුල සිටම ක්‍රමානුකූලව පරීක්ෂණ කල බැවින් යට කී කර්තෘ ප්‍රසිද්ධියේම තම අත්දැකීම් හෙළි කරනා තුරු ඔවුනට එය මග හැරී තිබුනි. පසුව මාර්ගය අයිනේ කාණුවක තිබී සිද්ධාර්ථගේ දුරකථනයද සොයා ගැනුනි.

අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා, පෞද්ගලිකව නිවසටම පැමිණ කෙසේ හෝ මේ පිළිබඳව සොයාගන්නා බවට යසෝට සහතික විය. නමුත් ඈ සිටියේ ඒ කිසිවකුත් ඇසිය හැකි  තත්වයක නොවේ. ඔවුන් ඇයගේ පපුවට පයින් ගසද්දී තවෙකෙකු බඩට පයින් ගසමින් සිටියේය.

මේ අතර විපක්ෂයේ බරපතල වගකීම් දරන්නෙක්ද යසෝ හමුවට ආවේ මේ පිළිබඳව තමන් ද දැඩි අවධානයෙන් බලා සිටිනා වග මිදුලේදීම අවධාරණය කරමිනි. සෙනග ගැවසීමෙන් මඩ වූ මිදුලෙන් ඔහු සන්සුන්ව අඩි තබා ආවෙ සිය සුදෝ සුදු ජාතික ඇදුමට පැල්ලම් ඉසෙයිදෝයි බියෙන් හා සැකයෙන්  යුතුවය.

එදා ඇවිත් තියෙන්නෙ සුදු වෑන් එකක්...නොම්බර තහඩු තිබිලත් නෑ

ඔහු යසෝට රහසින් මෙන් කීවේ ඇය වට කොට සිටි සැමටද ඇසෙන පරිදිය.

යසෝට දරුවා ලැබුණි.. තමා වටකොට නැගි ඝෝෂාව මැද ළදරුවාගේ බෑඟිරි දීමට ඇය සිනාසුනාය. ඒ ඔහුගේ නික්මනෙන් පසු පළමු වතාවටය. ඇය අසල සිටියේ සිද්ධාර්ථගේ පියා හා ‍ගෝතමී පමණි. යසෝගේ සතුටු කදු‍‍ළු දැක වයසක මිනිසා කොරිඩෝරයේ ලෑලි බංකුවකට හිස ගසාගෙන දුකට හැඩුවේය. වාට්ටුව පුරා ඇති ගෝසාව මැද ඔහුගේ හඬ නෑසී ගියේය. ඔවුන් නිවසට කැඳවාගෙන ආ පසු මහල්ලා ධාතු කරඬුවක් දෝතට ගන්නා ලෙසින් දරුවා වඩාගෙන සිම්බේය.

ඔයා මේ ගැන සෘජුව තීරණයක් ඉල්ලලා ඉස්සරහට එන්න ඕන. අපි අවශ්‍ය හැමදේම බලාගන්නවා. අපි ඔයාගෙ දුක දන්න නිසයි මේ සිද්ධියට මැදිහත් උනේ. ඔයාට දේශපාලන බලයයත් ගොඩනැගිලා තියෙන වෙලාවෙ ඒකෙන් ප්‍රයෝජන ගන්න. සිද්ධාර්ථ වගේ කෙනෙක්ට උන දේ හෙට තව කෙනෙක්ට වේවි.

ඉංග්‍රීසියෙන් වේගයෙන් කතා කරමින් සිටි පිරිස අතර යසෝගේ ඔලුව අතගාමින් ඇය හා දොඩන ගැහැනිය දෙස මහල්ලා හොරැහින් බැලුවේය. ඇයගේ නෙතින් වැටුනු කදුලක් මුහුණේ වත්සුනු සමග මුසුව ඉටි කිරි බින්දුවක ස්වරූපයක් ගෙන දිස්න දෙයි. මහල්ලා යළි යසෝ දෙස හොරැහින් බැලුවේය. නැතිනම් රැව්වේය. ඇයගේ මුහුනේ සියුම් මඳ සිනාවකි. දෑස කාන්තියෙන් දිස්න දෙයි . මහල්ලාද සිනාසුණේය. ඔහු ප්‍රීතියෙන් ධාතු කරඩුව යලි යළිත් සිම්බේය.

සිද්ධාර්ථ ආණ්ඩුවෙ සල්ලිවලට යට උනා. මිනිහා දැන් අලුත් අනන්‍යතාවක් එක්ක යුරෝපෙ සැප විඳිනවා.

සිද්ධාර්ථගේ සගයෙකුව සිටි ප්‍රබුද්ධ මාධ්‍ය හමුවකදී පැවසුවේය. ඔහුගේ තැනින් තැන දිගුව හා කොටට යනසේ තිබූ රැවුලු ගස් දැන් සීරුවට පොන්ටිං කට් එක හිටින සේ කපා ඇත. බොර පැහැ ගත් කමිසයද නියම රතු පැහැය ගෙන දිස්න දෙයි.

මහල්ලා කඩයට ගියේ ඇන්කර් ත්‍රී ප්ලස් ගෙන ඒමටය. බෙදා දී තවත් ඉතුරු වී ඇති ලැක්ටෝජන් දැන් දරුවාට දෙන්නට බැරිය. යන අතරතුරද ඔහු කල්පනා කලේ යසෝ සහ දරුවා ගැනයි. දරුවාට දායාද දෙන්නට හැකි බව කියමින් බොහෝ දෙනා පැමිණියද යසෝ හැම විටම පෙර සේම මඳ සිනා පෑවා පමණි. මහල්ලා වරෙක දුක් විය. නමුත් යසෝ දරුවාට දිනෙක ඔහුට හිමි දායාදය දෙනු ඇත. ඉන් ඔහු සැනහුනේය.




මාසයේ අවසන් ලිපිය වෙනුවෙන් සිරාගේ කාමරයට ලියා එව්වේ,

ඉසුරු අබේසේකර


ප.ලි

සිරාගෙ කාමරය තුල 7 වෙනි ලිපිය ලෙස පලවන ඉසුරුගේ සිව්වැනි කෙටි කථාව මෙයයි. මෙයට පෙර ඇඹුල් දොඩම්, දෑස් සහ උපත් පාලනය යන ඉසුරුගේ කෙටි කථා මෙහි පලවී තිබේ.

Sunday, June 21, 2015

54 අපි සමග අපි

සිස්සත්තෙ සමත් වෙලා ටවුමෙ ලොකු ඉස්කෝලෙට ඇතුලු උන දවසෙ ඉදලම අපේ අම්මගෙ හිතේ තිබුනෙ කොහොමද මේකව සාමාන්‍ය පෙලින් එගොඩ කරන්නෙ කියන කාරණේ. ඒ හින්දම දන්න කියන ඇත්තන්ගෙන් කරුණු කාරණා හොයලා 6 වසරෙදිම සිරා කොලුවව දැම්මා නොවැ විද්‍යාව සහ ගණිතය අතිරේක පන්ති දෙකකට. සති අන්තයේ තමයි මේ පන්ති තිබ්බෙ. ඒ කාලෙ ගම්පහ නගරයේ ‍මේ විෂයන් දෙකටම නම් දරාපු ගුරුවරු දෙන්නෙක් තමයි මේ පන්ති වල ඉගැන්වූයෙ.

පන්ති ආරම්භයෙදි එතරම් පිරිසක් හිටියෙ නැති උනාට වසරින් වසර ළමයි එකතු වෙලා සා/පෙ ලියන කාලෙ වෙද්දි සෑහෙන පිරිසක් මෙතන පොදි කකා උන්නා. විවිධ පාසල් වල විවිධ කොල්ලො කෙල්ලො හමුවෙද්දි ප්‍රේම කථා එහෙමත් කාටත් රහසෙ ලියලන්න ගත්තා. සිරා කොලුවා කාලෙකට කලින් ලිව්ව මගේ අප්‍රකාශිත පළමු පෙම රතු කොණ්ඩෙත් මේ පන්ති වලටම තමයි ආවෙ ගියෙ.

අපේ විද්‍යාව සෑර්ගෙ නම තමයි චානක. බොහොම පැහැපත් මුහුනත් තහඩුවක් එක්ක බලල් ඇස් දෙකක් තිබ්බ නිසාම චානක සෑර් හරි ප්‍රියමනාප මනුස්සයා. නිතරම විහිළුවෙන් තහළුවෙන් තමයි උන්නෙ. විද්‍යාව කියන්නෙ අපිට ඒ කාලෙ ඒ තරං පත්තියන් උන විෂයක් නොවුනත් ඔහු ඉතාම ලස්සනට සීරුවට මාරුවට මේ විෂය අපිට ටිකෙන් ටික කාන්දු කොලා. 

ඉරිදා දවසෙ උදේම විද්‍යා පන්තිය ඊට පස්සෙ ගණිතය පන්තිය. ගණිතය විෂය උගන්වපු ගුරුවරයා බොහොම සැරපරුෂ උනත් විෂය දැනුම අතින් බොහොම පොහොසත්. මේ කථාව මම අයිය බඩා කථාවෙදිත් බොලාට කිව්වා. ඒ කථා වල ජීවමාන වෙච්ච බොහොමයක් චරිත ආව ගිය, මුණ ගැහුන අපි එකිනෙකා අඳුනගත්ත තැන තමයි ගම්පහ රෝහල කිට්ටුව තිබුන මේ අතිරේක පන්තිය. ලංකාවෙ පාසල් සිසුන් බහුතරයකට ගණිතය බැරි ගණිතය ගුරුවරුන්ගෙ තියෙන මේ සැර පරුෂ බව කියලා මගේ අක්මාවට දැනෙනවා බොලව්. අහිංසක ගණිතය ගුරුවරු අපේ පාසලේ හිටියෙත් නෑ. හැමෝම බොහොම ප්‍රචණ්ඩයි. දෙන්නං ජම්බු වගේ බැල්මන්ට් එකක් තමයි හැම වෙලේම ඒ ඇත්තො ලග තිබුනෙ.

අපේ පාසල ඉතිං බාලක පාසලක් නොවැ. ඒ කාලයේ ඉතිං දැරිවියො කියන්නෙ අපිට බොහොම අාගන්තුක ජීවීන් විශේෂයක්. මිශ්‍ර පාසල් වලින් පන්ති ආපු කොල්ලො උන්ගෙ පාසල් වල කෙල්ලො මැද්දට වෙලා වීරයො වගේ කියව කියව ඉද්දි අපි උන් දිහා ඊර්ෂ්‍යාවෙන් වගේ බලාන උන්නා. ඒත් ගම්පහ නගරයෙදි අපේ පාසලට තියෙන කීර්තිනාමය නිසාම සමහර දැරිවියො අපිත් එක්ක බලෙන්ම වගේ කයියට සැට් උනා. විද්‍යාව ගණිතය අතිරේක පන්ති දෙකේම උන්න ලස්සනම කෙල්ල මිශ්‍ර පාසලක ඉගෙන ගත්ත කොමනි. කියන්න වදන් නෑ...ඒකි පුදුම විදියට ලස්සනයි ඒ කාලෙ. මේ සිදුවීම් අවසන් වෙලා දශක දෙකකට ආසන්න කාලයක් ගත උනත් කොමනිගෙ රූබර අඟ පසඟ මට තවමත් මතක් කරගන්න අපහසු නෑ. ඒ ගැන කියද්දිත් නිකං කිචි වගේ මට.

කොමනි එක්කම එකම පාසලේ ඉගෙන ගත්ත කුවේණිත් ඒ කාලෙ අපේ හොද මිතුරියක්. මුන් දෙන්නම ඉගෙන ගත්ත පාසලේ විදුහල්පති තුමාගෙ අවමඟුලට අපි බෑන්ඩ් ගහපු හැටි අතීතයේ දවසක මම ලියලා තියෙනවා. කොමනි රූපයෙන් අග තැන්පත් වෙද්දි ඒකෙ අනිත් කොනේ තමයි කුවේණි උන්නෙ. මේ ලස්සන කෙල්ලගෙ ආදරය දිනාගන්න බලන බලන අත  කොල්ලො පොර කෑවට මට හිත ගියේම ගම්පහ නිල් ඉරි පාසලේ රතු කොණ්ඩෙට විතරමයි.

අපි 11 වසර පන්තියට සමත් උනාට පස්සෙ පන්තියෙ තිබුන අධික තද බදය අවම කරන්න විද්‍යාව ගණිතය පන්ති දෙකම කණ්ඩායම් දෙකක් බවට පත් කලා. තමන්ට කැමති පන්තියකට සහභාගි වෙන්න හැකියාව තිබුන නිසා සති අග පන්තිය වෙනුවට අපේ කාන්තා පරාණ සහභාගි උන සතියේ දවසක පන්තියකට තමයි ඔන්න එතැන් පටන් අපි සහභාගි උනේ.

චානක සෑර් ඒ කාලෙ පන්තියට ආවෙ බොහොම නිදහස් මිනිහෙක් විදියට. කොල්ලන්ට නොපෙනෙන්න ලග පාත කඩයක් අස්සට වෙලා සිගරැට්ටුවක් උරලා ඒ ගඳ යන්න ටොපියක් හප හපා පන්තියට එන එක තමයි ඔහුගේ සාමාන්‍ය පුරුද්ද උනේ. නිතරම සිනා මුසු මුහුනෙන් හිටියත් සමහර වෙලාවට නහුතෙට තරහා යනවා. ඒත් කවදාවත් කාටවත් පාරක් ගැහුවා කියලා නම් මගේ මතක පොතේ සටහන් වෙලා නෑ

මේ ගුරුවරු දෙන්නම ඒ කාලෙ භද්‍ර යෞවනයෙ හිටිය අය. ඒ ඇත්තන්ට පන්ති එන්න වාහන තිබුනෙ නෑ. දෙන්නා ලගම තිබුනෙ යතුරු පැදි. සමහර වැසි කාල වලට තදින් වහිනවා නම් සෑර්ගෙ පන්ති ආගමනය ප්‍රමාද වෙනවා. ඒ වෙලාවට ඉතින් වැස්ස පායනකං අපි කොමනිව ලං කරගෙන එක එක දේවල් කියව කියව ඉන්නවා. මම ඒකිට ආදරය නොකලට..මගේ සැට් එකේ බොහෝ උන්ගෙ සිහින කුමරිය උනේ කොමනි. ඒකෙ දෙකක් නෑ. 

ඒ කාලෙ අපි පන්ති යන අස්සෙ බඩට මොකුත් දාගත්තෙ පන්තිය ලගම තිබුන බන්දුල අයියගෙ කඩෙන්. මේ කියන අවධියේ හොඳ තරුණ වයසෙ හිටිය බන්දුල අයියා කොල්ලන්ට සෑහෙන හිතවත් වෙලා හිටියා. සමහරු කඩේ ඇතුලෙ හැංගිලා ඉදලා ඊට යාබද පාරෙන් පන්තියට ආගිය කෙල්ලන්ට ඇහැ දැම්මා. නැත්තං හීනියට වතුර ගැහුවා. 

වතාවක් අපි තඩි බට්ටෙක් ගෙනත් ඒකෙ වෙඩි නූලෙ තිබුන වෙඩි බෙහෙත් අන්තිම අඩියට හූරලා හඳුන්කූරක් එක්ක අමුණලා පන්තියෙ කෙල්ලො ඉන්න පැත්තෙ බිත්තියට එහායින් තියලා සද්ද නැතුව හොඳ ළමයි වගේ ඉගෙන ගත්තා. එක පාරටම පලාතම කම්පනය කරමින් බට්ටා පුපුරනකොට සමහර කෙල්ලො හූ කියාගෙන පන්තියෙන් එළියට දුවන්න හැදුවෙ. බට්ටා ඇටෙව්වෙ අපි බව දැනගත්තා නම් අපිට ගණිතය ගුරු තුමාගෙන් අම්බානක කන්න ලැබෙන බව දන්න නිසා...අපි හිනාව ආයාසයෙන් හරි අතින් තදකරගත්තා.

මේ අවධියෙ මවුන්ටන් බයිසිකලයක් කියන්නෙ කොල්ලො අතර බොහොම සුඛෝපභෝගී භාණ්ඩයක්. අපේ කොල්ලො සැට් එක අතර එහෙම දෙයක් තිබුනෙ ජපන් චමියට විතරයි. සමහර දවසකට ජපන් චමියා බයිසිකලයෙන් පන්ති එද්දි අතර මගක පයින් එන චානක සෑර්ව සැට් වෙනවා. ඉතින් එදාට සෑර් පන්ති ආවෙ චමියගෙ පාගල් එකේ.

11 වසර විද්‍යා පෙළ පොත් වල තිබුන පාඩම් අතරින් අපි ඉතාම කැමති වෙච්ච පාඩමක් තිබුනා. ඒ තමයි ප්‍රජනනය. මේ පාඩම කරන දවස දිහා තමයි අපි බොහොම ආශාවෙන් බලා උන්නෙ. මේ ආශාව ගැන සෑර් දැනුවත් වෙලා හිටිය නිසාම ඒ පාඩම විභාගයට කලින් පවත්වන අන්තිම පන්තිය දක්වාම ඉතිරි කරගන්න සෑර් නුවනක්කාර උනා. ප්‍රජනනය පාඩම කරපු දවසෙ කොමනි ඇතුලු දැරිවියන් විලියෙන් ඇඹරුනේ පාඩම කරන අස්සෙ කොල්ලො ලං වෙලා කියපු කුපාඩි කථා හින්දා මිසක සෑර් මොකුත් කියලා එහෙම නෙමෙයි.

ගණිතය විද්‍යාව අතිරේක පන්ති ආගිය උන් අතර විවිධාකාර චරිත හිටියා. ඒ බොහෝ දෙනෙක් ගැන තවමත් මට අමතක නෑ. අපේ පාසලේම කුරුප්පුවා එහෙම කෙනෙක්. වැඩිය ඇගපත නැති හුරතල් පෙනුමක් තිබ්බ ඒකාට තිබුනෙ මහ වාචාල අසික්කිත කටක්. තාත්තා පොලිසියෙ ඉහළ තනතුරක සිටීමත් උගෙ තිබුන පොර මානසිකත්වයට හේතුවක් වෙන්න ඇති. පන්තියෙ හිටිය කිසිම දැරිවියෙකුට හිතින්වත් ආදරය නොකරපු කුරුප්පුවා ලස්සන කෙල්ලන්ට කට කැඩිච්ච කථාවක් කියන්න හරි රුසියා. සමහර වෙලාවට අපේ අස්සෙ ඉදන් එහෙම කිව්වම ඒ කෙල්ලො අපි එක්කත් අමනාප උනා. ඒ නිසා අපි හැකි තරම් උගෙන් ඈතට වෙලා අපේ නම්බුව බේරගන්නයි මාන බැලුවෙ.

වතාවක් අපේ හොඳ හිතවතියක් වෙච්ච දැරිවියක් ඉරිදා දවසක පන්තියට යද්දි අපේ ඉදිරියටම ආවා. ඇය ඈත ඉදන්ම හිනා වේගෙන ආවට කුරුප්පුවගෙ ඇහැ ගියේ ඇගේ ඇගට ඇලිලා තිබුන හැට්ටය උස්සගෙන වගේ ඉදිරියට නෙරාගෙන ඇවිත් තිබුන ඇගේ ළැම පෙදෙස දෙසට. මේ කෙල්ල ලං වෙද්දි ඇගේ මුහුණටම කුරුප්පුවා මෙහෙම ඇහුවා..

ඒක නෙමෙයි අනේ...මොකද ඔයාගෙ ඉස්සරහා මේ තරම් උල්....

අපි දෙන්නා දිහාම කන්න වගේ බැලුව කෙල්ල ගස්සගෙන යන්න ගියා. ඔය වගේ හේතු නිසා දැරිවියෙක්ට ඇහැ දෙන කවුරුවත් කුරුප්පුවා එක්ක වැඩි පයුරු පාසානෙට ගියේ නෑ. ගියොත් විනාශයි.

කොට්ටෝරුවා ගහෙන් ගහට කොටලා දවසක කෙසෙල් ගහට කෙටුවාම හොට පැටලෙනවා කිව්වා වගේ කුරුප්පුවට දවසක් වැඩේ වැරදුනා. අපේ ජීවන්තයලගෙ ගෙවල් පැත්ත‍ෙ උන්න සුන්දර දැරිවියකට කට කැඩිච්ච කථාවක් කියලා කෙලී මේ බව තමන්ගෙ වලියට බර වැඩිමල් සහෝදරයගෙ කනේ තියලා.

ඉරිදා දවසක විද්‍යාව පන්තිය අහවර වෙලා ගණිතය පන්තිය ආරම්භ වෙන තුරු තැන තැන කල්ලි ගැහිලා ඉන්න වෙලාවක තමයි වේගයෙන් ආව වෑන් එකක් එතන නතර උනේ. ඒකෙන් බැහැලා ආව උන්ගෙ තිබුනෙ මරුමුස් පෙනුමක්.

කවුද කුරුප්පු කියන්නෙ. එකෙක් එහෙම ඇහුවා.

තමන්ගෙ පැත්තෙ මදාවියො ටිකක් බව ඉක්මනින් අඳුනගත්ත ජීවන්තයා උන් මැද්දට පැනලා වෙන්න යන විනාශය නවත්තගන්න බැලුවා.

ජීවන්ත මල්ලි උඹ පැත්තකට වෙයං. මේක අපේ ගේමක්.. කෙල්ලගෙ අයියා එහෙම කිව්වා.

අපිට යාබදව හිටිය කුරුප්පුවා මම කියනවා විතරයි අපිට ඇහුනෙ. පන්තියෙ දැරිවියො ඉස්සරහම ආපු ඇත්තො උගෙ හතර හන්දි වල සවි ශක්තිය පරීක්ෂා කරන්න වගේ අම්බානක නෙලුවෙ අපිට ඊට මැදිහත් වෙන්න ඉඩක් තියන්නෙ නැතුවයි.කොහොමින් කොහොම හොද ගානට බඩ පුරා කාපු කුරුප්පුවා යන්තං කඳ කෙලින් කර ගනිද්දි.. ගුටිබැට හුවමාරුව අස්සෙ මාරු වෙලා ගිය උගෙ ඒ අවධියෙ අතිජාත මිත්තරයා වනිගයා අපි ඉස්සරහට ආවා.

මේකට නෙලනකං උඹ මෙච්චර වෙලා කොහෙද බොල මක බෑවුනේ ?

මම ඉක්මනට බන්දුල අයියගෙ කඩේට දිව්වා බං කඩුවක් තියේද බලන්න එහෙ...ආපහු එද්දි වලිය ඉවරනෙ...

වනිගයා කියන්නෙ ලෝක කපටියෙක් කියලා එදා ඉඳන් හැමෝම දැනගත්තා.

කොහොමින් කොහොම අවුරුදු 7 ක්ම මේ ගුරුවරු දෙපලගෙන් ඉගෙන ගෙන සාමාන්‍ය පෙල කඩඉම පනින්න අපි හැමෝටම වගේ අන්තිමේදි හැකියාව ලැබුනා. එතනින් පස්සෙ උසස් පෙළට විවිධ විෂය ධාරාවන් යටතෙ අපි විසිරුනා. හිටි ගමන් මේ පරිසරයෙදි අපි අඳුනගත්ත පැරණි මිතුරන්, මිතුරියන් අතර මගදි හමුවුනා. එදා වගේම සෙනෙහසින් තදියමේ වචනයක් දෙකක් කථා කරලා සමුගෙන ගියා. කාලයේ තාලය අවසානයේ පන්ති පවත්වපු ස්ථානය වගේම බන්දුල අයියගෙ කඩයත් නිහඬ උනා. එතැන වෙන කෙනෙක් කඩයක් දැම්මා. හැමදේම කාලයේ වැලිතලාවට යට උනා. අපි පන්ති ගිය භූමියෙ අපේ පා සටහන් අයාලෙ වැවුන තණකොළ වලින් වැහුනා.

දැරිවියො එකා දෙන්නා වේලාසනම කසාද බැදලා තම තමන්ගෙ කූඩු හදාගෙන දරු සුරතල් බැලුවා. මම හිතින් ආදරය කල රතු කොණ්ඩෙ අන්තිමට හමුවෙන කොට අවුරුදු තුන හමාරක පුංචි පුතෙකුගේ මවක්. ඒ ඇත්තියො ඒ විදියට වගකීම් සහගත වෙද්දි අපි වගේ තනිකඩයො බහුතරයක් රටට සමු දීලා නොරටක තනි උනා. වැඩ රාජකාරි අස්සෙ අතීතයේ දවසක හිත නතර උනාම ඒ සුන්දර මතකයේ වරින් වර ජීවත් උනා.

උඹට ආරංචි උනාද ?

ඊයෙ පෙරේදා දවසක ජීවන්තයා මූණු පොතෙන් එහෙම ඇහුවා.

මොකක්ද ?

ඊයෙ චානක සෑර් නැති වෙලා. පපුවෙ අමාරුවක්.....එදා රෑ කාලකුත් ගැහුවලු. මැරෙන වයසක් නෙමෙයි බං වයස 46 ලු. සෑර් අන්තිම වෙද්දි පන්ති කර කර හිටිය තැනට මෙහායින් මගෙ යාලුවෙක් ඉන්නවා. අද පන්තියට පණිවිඩේ ඇවිල්ලා තියෙන්නෙ. සෑර්ට ළමයි දෙන්නයිලු.

ජීවන්තයගෙ ශෝකාබරිත යුනිකෝඩ් වියමන යටින් මම ආයෙමත් ඇස් පියාගෙන චානක සෑර්ගෙ විද්‍යා පන්තියට ගිය ඒ අතීතයට නික්මුනා. අපි එනකං මග බලාගෙන හිටිය ඒ බලල් ඇස් දෙක තවමත් ජීවමානයි වගේ දැනුනා.



දයාබර සෑර්, අපට සෙත සැලසූ ඔබට නිවන් සුව !



මම කාමරේ අරින සිරා කොලුවා.  

Wednesday, June 10, 2015

85 තුනෙන් හතරට

අදින් හරියටම වසර 3 කට පෙර මම මගේ සිහිනයක් සැබෑ කරගත්තෙමි. එය වූ කලි ඕපපාතිකව රෝපණය වී කාලයක් යද්දි අතු ඉතිලා මහා වෘක්ෂයක් බවට පත්ව තිබූ සිහිනයකි. වරෙක සිහිනය සැබෑ කරගන්නට බොහොම තද උවමනාවක් ඇති වෙයි. තවත් වරෙක එය නැතිව යයි. මේ අන්ත දෙකේ දෝලනය වූ මගේ සිහිනය අවසානයේ සිරාගේ කාමරය නමින් ඔබ හමුවට පැමිණියේය.

සිරා කොලුවා බ්ලොග් කියවන්නෙක්ව පමණක් සිටි කාලයේ මටත් මෙවැන්නක් ලියන්නට අැත්නම් යනුවෙන් ඇතිවුන පුංචි සිතුවිල්ල සාක්ෂාත් කරගෙන වසර 3 ක් පුරා එය නඩත්තු කරන්නට හැකි වේ යැයි මම එකල නොසිතුවෙමි. විවේකී වේලාව ඵලදායී යමකට යෙදවීමේ අවශ්‍යතාව පමණක් මම එදා දුටිමි. නමුත් ආ මග දෙස අද ආපසු හැරී බලන විට මට දැනෙන්නේ ඉමහත් තෘප්තියකි.


දුකා / දුමී / සඳරු  යනු මම කාමරේ අරින්නට කලියෙන් කියවූ...බොගක් පටන්ගන්නට මා හට උත්තේජක වූ බොග් කරුවන් බව අද වැනි දිනක කෘතඤ පූර්වකව යලිත් වතාවක් මතක් කල යුතුය. මේ චරිත තුන අතරින් මට තවමත් මුලිච්චි වී ඇත්තේ සදරුවා පමණි. බොගක් ඇරඹිය යුතුමයි යන අදහස මා හට ජනිත කරන්නට ඒකාගේ ලියවිලි සමත් වූ බැව් මා සඳරුවාගේ මූණටම කියා තිබේ.

බ්ලොග් කෙරුවාව ආරම්භ කරන ආකාරය, මුලික සැකසුම් පිළිබඳ මෙලෝ සංසාරයක් නොදැන සිටි සමයේ..ඒ පිළිබඳ තාක්ෂණික කාරණා පිළිබඳ මා දැනුවත් කොට මේ කාරිය කරන්නට මා හට ධෛර්යය නැමති එන්නත විද්දේ ඒ කාලයේ මා සේවය කල දැන්වීම් ප්‍රචාරක ආයතනයේම සිටි මගේ කණිෂ්ඨ සගයෙකි. ඒකාද මා මෙන්ම ඩිසයිනරයෙකි. ජංගම ග්‍රැෆික් දොස්තර ලෙස අප එදා ඔහු හැඳින්වීමු. මගේ අඩවියේ පළමු කමෙන්ටුවද උගේය. වර්තමානය වන විට ලංකාවේ අංක එකේ ග්‍රැෆික් කරුවෙකු ලෙස වැජඹෙන මේ චරිතයටද මම සහෝදරත්වයේ මල් මිටක් මෙසේ පිරි නමමි. ඒ වගේම කාමරයේ ඉහළින් එල්ලන්නට මගේ ඉල්ලීමක් අනුව සිරා කොලුවාව සිතුවම් කර දුන් අපේ ඉංග්‍රීසි සෑර් හෙන්රි මහතාටද මම බොහෝ සේ ස්තූතිවන්ත වෙමි.

සිරාගෙ කාමරයේ පළමු කමෙන්ටුව,
කමෙන්ටුව මගේ මිත්‍රයාගේ බවක් මම පිළිතුරු දෙන විට නොදැන සිටියෙමි.


ඇරඹීම පහසු වුවත් පවත්වාගෙන යාම පහසු නැත යන්න බ්ලොග්කරණයේදී නිතර හමුවෙන සුලභ කියමනකි. එය සත්‍යයක් බැව් මමද පිළිගනිමි. එදිනෙදා යෙදෙන වැඩරාජකාරි අතරේ ඇතැම් විටෙක බොගක් දැමීමට වෙලා නැත. ඒ කුමක් වුවත් විදේශ ගත වූ මුල් කාලයේ මාස කීපයක් හැර අනෙක් සෑම මාසයකදීම මාසයකට ලිපි 7 බැගින් අඛණ්ඩව පල කරන්නට සිරා කොලුවා සමත් වී තිබේ. එකම අගයකින් හැම මාසයකම ලිපි ලියනා බොග් කරුවන් බ්ලොග් අවකාශයේ නැති තරම්ය.  එය ඉතාම අපහසු කාරියකි.

සිරාගේ කාමරය තුලින් මම මනුෂ්‍යත්වයේ සුවඳ වින්දෙමි. නින්දා, ප්‍රශංසා, අපහාස, උපහාස ලැබුවෙමි. සමාජ සත්කාර කීපයකටම දායක වූයෙමි. ඉදිරියටත් එවැනි දෑ කරන්නට මේ දිනවල සැලසුම් කරමින් සිටිමි. ඒ අතර තුර අලුත් මිතුරන් එකා දෙන්නා බැගින් හමුවන්නටද වරම් ලැබුනි. අද වන විට මා ඉතාමත් සමීපව එදිනෙදා ආශ්‍රය කරනා බහුතර මිතුරන් සිරාගේ කාමරය තුලදී මට හමු වූ අය මිස මගේ පාසල් මිතුරන් නොවේය. ඉතින් මම මගේ කෙරුවාව පිළිබඳ බොහෝ සේ තෘප්තිමත් වී සිටින්නෙමි.

වෙනදා පලවන ලිපි මෙන්ම මේ ලිපියද කියවන පාඨක ඔබ සැමද සිරාගේ කාමරය වසර 3 ක් පුරා ආ ගමනේ කොටස් කරුවන්ය. ඔබ නැති නම් මේ ගමන මෙතරම් දිගු එකක් වන්නේ නැත. අපි අතර ඇතිවූ අනෝන්‍ය බැඳීමත්..වචනයකින් හෝ දෙකකින් ඔබ පල කල සුහදත්වයත් නිදි නැති මගේ වෙහෙසකර ව්‍යායාමය සඵල කරගන්නට හේතු වූ බව කිව යුතුමය.

2013 මාර්තු මස සිට විදේශයක වෙසෙන සිරා කොලුවා මේ වන විට තව දුරටත් පෙර පරිදි බොග දමන්නට නොහැකි තරමට කාර්ය බහුල වී තිබේ. එහෙත් මෙතුවක් කල් කෙසේ හෝ මගේ නින්දෙන් අති මහත් කොටස කැපකොට කාමරයේ ලෑලි දොර ඔබ වෙනුවෙන් විවෘත කළෙමි. තව දුරටත් ඒ කාරිය කොරන්නට මා අපොහොසත් නිසා කාමරයේ ලෑලි දොර වසා දමන්නට කීප වතාවක්ම තීරණය කළෙමි. එහෙත් මා වටා සිටිනා මිත්‍ර සම්පත්තිය ඒ තීරණය ක්‍රියාත්මක කරන්නට ඉඩ නොදුන් හෙයින්ම තවමත් මේ  කාමරය ඔබ වෙනුවෙන් විවෘතව පවතී. 

සිරාගේ කාමරය දැන් මගේ නොව ඔබේය. එය ජනතාසන්තක වී තිබේ. මගේ ලිපියක් වෙනත් අඩවියක් හොරා කා පල කල සැනින් එසැනින් මගේ මිතුරන් මා හට ඔත්තුව දෙන්නට තරම් මේ කාමරය සමග, සිරා කොලුවා සමග සුහඳ වී තිබේ. හැර ගිය පෙම්වතිය නිසා රිදුන සිත සුවපත් කරගන්නට ඒ දුක මා හට ලියා එවන තරමට කාමරයේ පාඨකයන් හෘදයාංගම වී තිබේ

සිරා කොලුවා වසර 3 ක් බ්ලොග්කරණයේ නියැලුනත් තවමත් ලියන්නට දෑ හිග නැත. මම තවමත් මා දැන් සිටින දේශය පිළිබඳ බොහෝ දේ අකුරු කර නැත. ඉදිරි දිනයක හැකි අයුරින් මේ රට පිළිබඳ ලිවිය යුතු දෑ ලියන්නට අධිෂ්ඨාන කර සිටිමි. 

මගේ කාර්යබහුල වෘත්තීය ජීවිතය තුල තව දුරටත් මසකට ලිපි 7 ක් ලියන්නට මම අපොහොසත් වී සිටිමි. කාමරය වසා දමනවාට වඩා මාසයකට ලිවිය හැකි ප්‍රමාණයක ලිපි පලකරමින් පවත්වාගෙන යාම වඩාත් යෝග්‍ය බව කාමරයට එන යන මගේ මිතුරන් මා හට සැළ කලෙන් සිරා කොලුවා වන මම මෙතැන් පටන් එලෙස වෙනස් වීමට තීරණය කළෙමි. ඒ අනුව අදින් පසු හතේ හත වදින්නේ නැත. සතියකට එක බැගින් මසකට ලිපි 4 ක් ලියාගන්නට මට තවමත් කාලය තිබේ. 

සිරාගේ කාමරයේ 4 වෙනි වසර තුලත් ඔබ මා නිතර හමුවනු අැත. හැකිතරම් කාලයක් මේ කාමරය ඔබ වෙනුවෙන් විවෘතව තබන්නට මම දැන් සිතා සිටිමි. සිරාගේ කාමරය නිසාවෙන් මා උපයාගත් බොහෝ වටිනා දෑ තිබේ. ඒවා අතරින් සහෝදරයන් තරමට සමීපව සිටින මිත්‍රයන් වඩාත්ම වටිනා ඉපයීම බැව් මම සිතමි. ඒ අනෝන්‍ය සුහදත්වය පසුගිය පෙබරවාරියේ බූට් මාසය තුල මොනවට ප්‍රකට වූ බව රහසක් නොවේ.

ලිපියක් ලියා පල කරනවාට වඩා දෙයක් සිරාගේ කාමරය තුලින් කල හැකි බව අතීතයේ දී ප්‍රත්‍යක්ෂ කොට තිබේ. අනාගත දිනයකදී එය නැවත නැවතත් සාක්ෂාත් වනු ඇත. වසර තුනක් පුරාවට මා සමග සිටි බ්ලොග් ලියන / කියවන ඔබ සැමට මගේ ආචාරය මෙලෙස පුද කරමි !  සැමට ජය !



මම කාමරේ අරින සිරා කොලුවා.

Sunday, June 7, 2015

58 නාග දූපත

සර්පයො කියන්නෙ බොහෝ දෙනා අතිශයින් බිය වෙන, දකින්නට පවා කැමති නැති, දෂ්ඨනයකට ලක් උනොත් වේදනාත්මක අත්දැකීමක් ලැබෙන සත්ව කොටසක්. සිරා කොලුවා වන මමත් එහෙමයි. සර්පයින්ට ගොඩාක් භයයි. සර්පයන්ටම වෙන්වුන දුපතක් ලෝකයේ එක තැනක තියෙනවා කියලා ඔබ දන්නවද ? ජාලෙන් පෙරලා අපි ඒ ගැනයි අද දැනගන්න‍ යන්නෙ.

Ilha de Queimada Grande


දේශීය භාෂාවෙන් Ilha de Queimada Grande යනුවෙන් හඳුන්වන අත්ලන්තික් සාගරයේ පිහිටා තිබෙන මේ දූපත සොභාදම් දිනිතියගේ භයංකාර නිමැවුමක් කියලත් හඳුන්වන්න පුලුවන්. මේ දුපතට කියන අනිත් නම තමයි නාග දුපත. ගොඩාක් විශාල නෑ. වර්ග මීටර් 430000 යි. පිහිටලා තියෙන්නෙ බ්‍රසීලයේ São Paulo වෙරළ තීරයේ ඉඳන් හැතැම්ම 20 ක් ඈතින්. බ්‍රසිල ජාතිකයො බොහොම දෙනෙක් මේ දූපත ගැන දන්නවා. හැබැයි රසවත්ම කාරණාව කියන්න‍ෙ දුපතට පය ගහන්න තරම් හිත හයිය මිනිස්සු ඉන්නෙ බොහොම අතලොස්සයි. අතීතයෙදි එහි ගිය අයගෙනුත් පණ පිටින් ආයෙත් ආවෙ බොහොම ස්වල්පයයි. හේතුව තමයි ‍ලෝකයේ අති භයංකාර සර්පයො දහස් ගනනක් මේ දුපතේ වාසය කිරීම. සමහරු කොපමණ විෂද කියනවා නම් දෂ්ඨ කලාම මිනිස් හම දිය වෙනවලු.










මේ දූපතේ වාසය කරන අයගෙන් භයංකාරම කෙනා තමයි හෙල්ලයක් වගේ හිසක් තියෙන රත්තරං පැහැති Golden Lancehead නැමති පොළඟා. අඟල් 28 සිට අඟල් 46 ක් දක්වා ප්‍රමාණයකට උන් දිගින් වැඩෙනවා. ලෝකයේ ඉන්න විෂ අධිකම පොළඟා මෙයා කියලයි කියන්නෙ. මේ පොළඟට පෙනුමෙන් සමාන මරණීය විෂ සහිත කෙනෙක් බ්‍රසීලයෙ ප්‍රධාන භූමිය තුල ජීවත් උනත් එමෙන් කීප ගුණයක් විෂ සහිත Golden Lancehead ජීවත් වෙන්න‍ෙ මේ දූපතේ පමණයි. ‍මේකා දෂ්ඨ කරලා ඉක්මනින් ප්‍රතිකාර නොලැබුනොත් පැයකටත් අඩු කාලයකින් එලොව දැක සැනසෙන්නයි මනුෂ්‍යයෙකුට සිදු වෙන්නෙ. ඇතැම් විටෙක ප්‍රතිකාර ලබා දුන්නත් රෝගියා මිය යනවා. මේ සතාගෙ දෂ්ඨනයකින් පස්සෙ මොළයේ අභ්‍යන්තර ලේ වහනය වීම, වකුගඩු අක්‍රීය වීම වගේම මිනිස් සම දියවී යන්නට පවා පුලුවන්ලු. ඉතින් මෙයාලා ඉන්න දුපතකට මිනිහෙක් භය නැතුව අඩියක් තියයිද ? දුපතට පැමිණිලා අතුපතර ගිමන් හරින සංචාරක කුරුල්ලො තමයි මේ දූපතේ සර්ප ගහනයට අහාර බවට පත්වෙන්නෙ.




Golden Lancehead 
හොර රහසෙ සතුන් පිටරට පටවන කළුකඩේ වෙළෙන්දො  වර්තමානයේදිත් මේ අධික විෂ සහිත පොළ‍ෙඟෙක් ඇමරිකානු ඩොලර් 10000 - 30000 අතර මිළ නියම කරලා වෙළඳාම් කරන්නෙ බ්‍රසීල බලධාරීන්ට හොරෙන්. මේ සතුන් ඒ තරම් වටින්නෙ එයාලා සතුව තියෙන සුවිශේෂ විෂ යොදාගෙන මිළ අධික ඖෂධ නිපදවන්න පුලුවන් නිසාලු. මේ අය නීතියේ රැහැනට හසුවුවත් නීතියේ ඇති හිල් වලින් ඉක්මනින් එළියට එන විදිය දන්නවා.

බ්‍රසීලයේ වගා කටයුතු වල නිරත වන ජනතාව විශාල ලෙස සර්ප දෂ්ඨන වලින් මිය යනවා. ඒ මරණ වලින් 90% කට වගකිව යුතු වෙන්නෙ Golden Lancehead  වගේ ඉන්න අනිත් පොළඟා. වර්තමාන ලෝකයේ විෂ ඝෝර සර්ප ගහනය වැඩිම ස්ථානය ලෙසයි දැන් Ilha de Queimada Grande හෙවත් නාග දුපත හදුන්වන්නෙ.


මේ දූපත ජනාවාශ ඇතිකිරීමට තහනම් ඉසව්වක් ලෙස බ්‍රසීල රජය නම් කර තිබෙනවා. විෂගෝර සර්පයන් සමග මනුෂ්‍යයින්ට සහජීවනයක් නැති වීම තමයි මෙයට හේතුව. 1909 දී ආරම්භ කරන ලද ප්‍රදීපාගාරයක් මෙහි ඇති අතර එහි අළුත්වැඩියාවන් සඳහා වසරකට වරක් එහි යන කාර්මිකයන් මේ දූපතට පය තබන සීමිත මිනිස් ප්‍රජාවට අයත් වෙනවා.

අතීතයේදී මේ ප්‍රදීපාගාරයෙ කටයුතු බාරව මිනිසුන් එහි නතර වී කටයුතු කලා. එහි අවසාන ලෙස රැඳී හුන් පුද්ගලයා තම බිරිඳ සහ අවුරුදු 5 ක් දියණියත් එහිම රඳවාගෙන තිබුනා. ඒ 1920 ගනන් වලදි. ඔවුන් සියලු දෙනා සර්ප දෂ්ඨන වලින් මිය ගියාට පස්සෙ අලුතින් සේවකයෙක් එතැන නතර කරන්නෙ නැතුව ප්‍රදීපාගාරය සම්පූර්ණ ස්වයංක්‍රීය ක්‍රමයකට පරිවර්ථනය කලා.

මේ මරණ වලට අමතරව තම මාලු බෝට්ටුවේ එන්ජිම අබලන් වීම නිසා නාග දුපත් වැල්ලේ නිදා සිටි ධීවරයෙකුද වතාවක් සර්ප දෂ්ඨන හේතුවෙන් මියගොස් තිබෙනවා. බ්‍රසීල නාවික හමුදාවේ ආරක්ෂාව යටතේ මේ දූපත දැන් පවතින්නෙ. ඒ සඳහා විශේෂයෙන් පුහුණ කල නැවියන් ඔවුන්ට සිටිනවා.

වසරකට වරක් එහි යන කාර්මිකයන්ට අමතරව විද්‍යඥයන් කීප දෙනෙකු පමණක් මේ දූපතට බ්‍රසීල රජයේ අවසරය අැතුව පැමිණ තිබෙනවා. ඒ අය දුපත තුල ගත කරන කාලය තුල වෛද්‍යවරයෙකු ඔවුන් අසලම රැදී සිටින්නේ සර්ප දෂ්ඨනයක් සිදු වුවහොත් ඉක්මනින් ශරීර ගත කිරීම පිණිස ප්‍රතිවිෂ එන්නත් පවා සූදානමෙන් තබාගෙනයි.

Sao Paulo නුවර Here සරසවියේ ගවේෂක Marcio Martins විසින් 
Golden Lancehead සත්වයෙකු නිරීක්ෂණය කරන අන්දම.

විද්‍යඥයන් සහ වෙනත් ගවේෂකයන් මේ දූපතේ කරක් ගහන්නෙ අති භයංකාර සර්පයෙක්  වන Golden Lancehead නැමති පොළඟාගේ විෂ යොදාගනිමින් හදවත් රෝග සහ ලේ කැටි ගැසීම යන රෝග අවස්ථා සඳහා යොදාගත හැකි ‍ඖෂධයක් දියුණුකිරීම පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහායි. විෂඝෝර සර්පයින් නිසා හුදෙකලා වුවත් පාරිසරික තත්වයන් අතින් ඉතා සුවිශේෂී මේ දූපත විද්‍යාත්මක නව ඔසු තැනීම පිණිස තෝතැන්නක් බවයි මේ පරීක්ෂණ කණ්ඩායම් වල අදහස වෙන්නෙ. බ්‍රසීල ජනතාවගේ සර්ප දෂ්ඨන මරණ වලින් වැඩි ගනනකට වග කියන මේ පොළඟා ගැන පරීක්ෂණ පවත්වන්න ඒ ඇත්තැන්ටත් අවශ්‍යයි.

වසර 11000 කට ඈත අතීතයේ නාග දූපතත් බ්‍රසීලයේ ප්‍රධාන ගොඩබිමත් එකටම පැවතුනත්  පසු කාලය තුල සාගර ජල මට්ටම ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රධාන භූමියෙන් වෙන් වී හුදෙකලා වන්නට එයට සිදු උනා. ප්‍රධාන භූමියේ සිටින සර්පයින් සියල්ලම පාහේ මේ දූපතේ සිටියත් ඔවුන් පසුගිය වසර දහස් ගනනක කාලය තුල තමන්ගේම මාවතක් තුල පරිණාමය වී තිබෙනවා. ඒ අනුව වෙනත් ගොඩබිමක විෂඝෝර සර්පයන්ට වඩා මේ දූපතේ සර්පයන් සතුව 5 ගුණයක් විෂ තිබෙනවා. 4000 ක පමණ සර්ප ගහනක් වර්තමානයේ මේ දූපත සතුව සිටින බව සත්ව විද්‍යාඥයන්ගේ අදහසයි.

සත්ව විද්‍යාඥයන් බ්‍රසීල රජය සමග එක්ව නාග දුපත සහ එහි සර්පයන් සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කොට තියෙන්නෙ.  සර්පයින් කෙතරම් භයානක වුවත් පරිසරයේ පැවැත්මට, ලෙඩ රෝග පාලනයට ඔවුන්ගෙන් ඉටුවෙන්නෙ විශාල වැඩකොටසක්. නීති විරෝධී සත්ව වෙළඳාම, ලෙඩ රෝග වැනි කාරණා නිසා නාග දූපතේ සර්ප ගහනය ගත වූ වසර 15 ක කාලය තුල 15% ක ප්‍රතිශතයකින් අඩු වී තිබෙනවා. මේ සතුන්ගේ විෂ ඉතාම මිළ අධික බෙහෙත් වර්ග නිපදවීමට යොදාගන්න නිසා නීති විරෝධීව මේ සතුන් වෙළඳාම් කරන්නට වෙළඳුන් උත්සුක වෙලා.

නාග දුපත තුල පමණක් Golden Lancehead Viper වර්ගයේ සතුන් ඇතුලුව අනෙකුත් විෂ සහිත සර්පයන් දහස් ගණනක් ජීවත් වෙනවා. මේ අයගෙන් සමහරෙක් වඳවීමේ තර්ජනයට මුහුණු දී ජාත්‍යන්තර රතු දත්ත පොතේ නම සටහන් වී තිබෙන අයයි. ඉතාම සුන්දර වටපිටාවක් සහිත තැනක තිබෙන මේ දූපත සංචාරක ආකර්ශනය ඇති තැනක් ලෙස සංවර්ධනය කරන්නට අවකාශ තිබෙන මුත් දුපතේ වෙසෙන සර්පයින් එයට හරස් වී තිබෙනවා.

නාග දුපත පිළිබඳ මේ වාර්තා වැඩසටහනත් නරඹන්න.




අද ලිපියට මූලාශ්‍රය




මම කාමරේ අරින සිරා කොලුවා.

Related Posts Plugin for WordPress, Blogger...