Saturday, December 31, 2016

22 මයිනරය, Vibration සහ තවත් කථා

සිරා කොලුවා කාලයක් නියෝජනය කල පාසල් බටහිර තූර්ය වාදක ඛණ්ඩයේ Vibration 2006 ප්‍ර‍සංගය පිළිබඳ ඔක්තොම්බර් මස අවසානයේදී පළ වූ ලිපිය සමග මේ ලිපිය සබැඳේ.


නිදි වර්ජිතව උදෑසන වනතුරුම පෝස්ටර් කෙලියේ නිරතව, සිරුර පුරා පාප්ප පැල්ලම් සහිතව, දැඩි විඩාවකින් පීඩිතව සිටින අපගේ චිත්ත සන්තානයම වතුර ටැංකිය අසබඩ කොළ ටයි පටි කෙල්ලෙකුගේ සිනා කැකුලකට ක්ෂණිකව විකසිත කරන්නට හැකි බැව් අපි එදා දැනගතිමු.

කෙතරම් විඩාවක් දැනුනත්, නිදි වර්ජිත රාත්‍රීන් කීපයක් ගත වුවත් සිරා කොලුවා වන මටත්, ජපන් චමියාටත් ඉසිඹුවක් ලබන්නට ඉඩක් නැත. අපගේ ප්‍ර‍සංග සංවිධානයේ කුමන හෝ තැනක අඩුපාඩුවක් ගැන පැමිණිල්ලක් නොලැබෙන දිනයක් නැත. 

නන්දයගෙ ලොරි බට්ටට තෙල් ගහන්න සල්ලි නෑ. පෝස්ටර් අලවන්න යන්න පාප්ප ගන්න සල්ලි නෑ. 

මෙවැනි අටෝරාශියක් ගැටලු කෙලවර වන්නේ ජපන් චමියාගේ හෝ මා ඉදිරිපිටිනි. ඒ සෑම විටෙකම යන්තං ඔලුව බේරාගත හැකි පිළිතුරක් දෙන්නට තරම් අපි දෙදෙනා දක්ෂයෝ වීමු.

වෙනදා වගේම කාලය වේගයෙන් ගත වී ගියේ ටික් ටික් හඬිනි. Vibration 2006 ප්‍ර‍සංගය අත පොවන මානයට පැමිණ තිබේ. චමියාගේත් මගේත් ඔලු ගෙඩි යක්ෂයාගේ කම්මල මෙන් අවුල් වියවුල් ජාලයකි. තවත් විටෙක මේ ප්‍ර‍සංගයේ සංවිධාන කටයුතු මහත් පීඩනයකි. මේ සියලු දෑ දරාගෙන අපි දෙදෙනා තවමත් පිම්මේ දුවන්නේ සාර්ථක ප්‍ර‍සංගයක් අපගේ තූර්ය වාදක ඛණ්ඩයේ පොඩි උන්ට දායාද කරනා අදහසිනි.

ප්‍ර‍සංගයට ඇත්තේ තවත් දින කීපයකි. අලුත් වටයකින් ගම්පහ නගරයම පෝස්ටර් වලින් හැඩ කරන්නට අපේ පාප්ප බාල්දි වලට හැකි වී තිබේ. කොල්ලො කුරුට්ටන් සියල්ලක්ම පාහේ අමුතුම ජවයකින් අවසන් අවස්ථාවේ තම දායකත්වය ඒ ඒ අංශ වෙනුවෙන් ලබා දෙන්නට සැදී පැහැදී සිටිති. තූර්ය වාදක ඛණ්ඩයට දායකත්වයක් නැති පාසලේ සාමාන්‍ය ශිෂ්‍ය ප්‍ර‍ජාවද ප්‍ර‍සංගය නිසාවෙන්ම වෙනදා නැති උද්යෝගයකින් සිටිනා වගක් සිරා කොලුවාගේ අක්මාවට දැනේ.

කොල්ලො...මේ දවස් ටික එක දිගට හවසට ප්‍ර‍චාරය දීහං ගම්පහ ටවුමෙ. මිනිස්සුන්ට එතකොට හොඳට දිනේ මතක හිටිනවා. මාස්ටර් දවසක් දෘ උදෑසනම මා වෙත අවවාදයක් දුන්නේය. දවසක් හැර දවසක් හෝ ආනන්දයාගේ ලොරි භාගයට පින් සිදු වන්නට ඒ වන තෙක් අප ප්‍ර‍චාරක කටයුතු සිදු කර තිබුනි. ප්‍ර‍සංගයට පෙර ගත වෙන අවසන් දින කීපය නිසා දැන් ඒ කටයුතු වෙනදාවට වඩා උවමනාවෙන් සිදු කරන්නට කාලය එළඹ තිබුනි.

අනේ මල්ලියෙ...අද නම් එන්න විදියක් ඇත්තෙම නෑ වාහනේ අරගෙන. අම්මට යකා නැගලා ලොරියෙ යතුරත් හංගලා තියෙන්නෙ. උඹලා අදට මොනවා හරි කරගනිල්ලා...මම හෙට කොහොම හරි එන්නං...

ආනන්ද අයියාගේ දුක්මුසු වැලපුම් හඬ මේ කියන දිනයේ 4 පසු වී විනාඩි ගනනක් ගිය තැන මාගේ සවන්පත් කම්පොනය කලෙන් මම මහත් කලබලයෙන් යුතුව මේ අසුබ ආරංචිය සංගීතය පුහුණුකරමින් සිටි බෑන්ඩ් මාස්ටර් වෙත සැළ කළෙමි.


යකඩ කටවල් දෙක තියෙනවා නේද බෑන්ඩ් කාමරේ...ඒක බැදහං මගේ කාර් එකට, අපි කාර් එකෙන් අද වැඩේ කරමු. වයසට ගියත් බෑන්ඩ් මාස්ටර්ගේ මෙවැනි අභීත ක්‍රියාකාරකම් ඒ කාලයේ මහත් සුලභ දසුන්ම වූවේය.

කොල්ලො කුරුට්ටන්ගේ නොමඳ සහයෝගය නිසාම මේ ප්‍ර‍සංගයේ ප්‍ර‍චාරක රථයක් පරිද්දෙන් සෑර්ගේ මයිනරය හැඩ වැඩ වන්නට වැඩි වෙලාවක් ගියේ නැත. වාහනය පුරාම අපගේ පෝස්ටර අළවා යකඩ කටවල් දෙක, කාරයේ වහළය මත තබා කොහු ලණුවෙන් කිටි කිටියේ බැඳ දැමූ පසුව සියලු දුක්ඛ දෝමනස්සයන් අහවර වූවේය.

නිවේදන කටයුතු සඳහා මයිනරය දැන් ගම්පහ නගරය බලා ඇදෙමින් තිබේ. කඩින් කඩ සෑර්ගේ උපදෙස් පරිදි මම ප්‍ර‍සංගය පිළිබඳ නිවේදන කටයුතු සිදු කලෙමි. රැකියාව අහවර වී නිවාස වෙත ඇදෙන ගම්පහ ජනතාව අපගේ ඉලක්කගත පිරිස වූහ.

ගම්පහ නගරයේ හදවත වැනි දුම්රිය ස්ථානය ඉදිරිපිට කොටසේ ප්‍ර‍චාරක කටයුතු සිදු කිරීමෙන් අනතුරුව සෑර්ගේ අදහස වූයේ දුම්රිය හරස් මාර්ගයෙන් ඔබ්බේ වූ කොටසේද ප්‍ර‍චාරක කටයුතු සිදු කල යුතු බවයි.

මයිනරයේ ඉදිරි වම්පස අසුනේ සිට ගම්පහ සිරි අසිරි නරඹින් සිටි මගේ දැහැන බිදුනේ එක් වරම නැගී ගිය මහා හඬකිනි. ඒ සමගම වාහනයේ මා සිටි කොටස පසෙකට ඇළවී එම කොටස තාර පාර දිගේ ඇතිල්ලෙන වගක් මට දැනුනි.

මොකක්ද බං ඒ සද්දෙ...වික්ෂිප්තව ගිය සෑර් මගෙන් විමසයි. නමුත් මා හට දෙන්නට පිළිතුරු නැත.

සැනින් ගමන නතර වූ මයිනරයෙන් බිමට බට සැනින් එහි ඉදිරිපස වම්පස  ටයරය පසෙකට ඇළවී තිබෙන අන්දම දැකගත හැකි වූවේය.

ටයර් එක ෆික්ස් කරන තැනට එනවා අපේ ඇගිල්ලක් විතර මහත ක්ලිප් එකක් මේ කාර් එකේ අන්න ඒක කාලයක් තිස්සෙ ටිකෙන් ටික  කැපිලා බං...ටයර් එක පැත්තට ගිහින් වාහනේ පාත් වෙද්දි පොළවෙ වදින සද්දෙ තමයි ලොකුවට ඇහුනෙ.

ප්‍ර‍සංගයේ බැනර් එල්ලන්නට වන්දනා නඩයක් රැගෙන මයිනරය ගෙවීගිය රාත්‍රියක ගිය ගමන මේ විපත උදා කරන්නට ඇති බැව් මා හට සිහි වුවද ඒ පිළිබඳ මම මාස්ටර් සමග කථා නොකළෙමි.

මාස්ටර්ගේ කාර්මිකයා එහි ලගාවනතුරු අපි දෙදෙනා මයිනරයට තනි රැක්කෙමු. ඒ අවසරයෙන් එතැනින් ගිය සිරා කොලුවා ගමන් ගන්නා මාර්ගයේ මගී බස්රථවල සිටි කෙල්ලන් පාසලේ නම සහිත පෝස්ටර් සමග අබ්බගාතව සිටින මයිනරය දුටු විගස කොක්සන් හඩලා සිනා සුනහ. ඒ සෑම විටෙකම මම මගේ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කරගැනිමේ පරම අධිෂ්ඨානයෙන් මයිනරය ඇතුලට හිස යොමු කරගෙන සිටියද, කඳ එළියේය.

මේ හදිසි අනතුරෙන් මයිනරය නැවතී තිබූ ස්ථානයෙන් මාර්ගය අවහිර වී තිබීම නිසා, මාර්ගයේ සැනෙන් ඇති වූයේ දැවැන්ත වාහන තදබදයකි. කවදත් අපේ තූර්ය වාදක ඛණ්ඩය සමග හොඳ හිත පතුරවාගෙන සිටි ගම්පහ පොලෝසියෙ ඇත්තන් ඒ සියලු තත්වයන් සමනය කරන්නට මහත් සහායක් දුන්නෝය.

ප්‍ර‍සංගයට පෙර දින රාත්තිරියේ ප්‍ර‍සංගයේ ආරාධිතයන් දැල්විය යුතු පොල්තෙල් පහන කිසිම සුකුරුත්තමක් නොමැතිව ඔහේ සිමෙන්ති පොළව මත තිබෙන අයුරු දැක අපගේ මාස්ටර් පරල වූවේය. 

මේක මෙහෙමද හෙටත් තියෙන්නෙ. වැඩක් කරනවා නම් හරියට කරපල්ලා.

උඹලා භය වෙන්න එපා මම දෙන්නං පොල්තෙල් පානට ලොද පනින්න නියම ඩෙකරේෂන් එකක්..ඒ වෙලාවේ අප මිත්‍ර‍ ජෝතියාගේ වදන් අපිට මහත් සහනයක්ම වූහ.

සෑර්ගේ දෝස්මුරයට හසු වූ පසු, මිත්‍ර‍ ජෝතියා සමග පාසලට යාබද කනත්තේ ඇති සුදු අරලියා ගස් වෙතින් මල් සහ කොල කඩාගන්නා විට මධ්‍යම රාත්‍රිය එළැඹී තිබුනි. ජෝතියාගේ ආරක්ෂාවට ඒකා සමග කනත්ත වෙත බඩගාන්නට මමත් චමියාත් එකතු වූයෙමු. උඩු කය නිරුවතින් සිටි කලුම කලු ජෝතියා දුටුවා නම් හොල්මනක් වුවත් භිය වෙනවා නිසැකය.

සති කීපයක සිට, නොයෙක් දෙනාගේ සහයෛා්ගය ඇතිව මහත් වැර වෑයමෙන් තැනූ ප්‍ර‍සංග වේදිකාවේ ප්‍ර‍සංගයට ඉඩ හසර වෙන්වන දිනය දා උදේ පාන්දරම ඇන්ටන් ජූඩ් කලාකරුවා රැගෙන එන්නට රත්මලානට යන්නට මා හට සිදුවූවේය. අප එහි යන විට තම සියලුම අඩුම කුඩුම සූජානම් කරගෙන ඔහු සැදී පැහැදී සිටියේය. ඒ වකවානුවේ මේ කලාකරුවාට තිබුනෙ ඉමහත් ජනප්‍රියත්වයකි.


නිවස ඉදිරිපිට මාර්ගයට පා ගමනින් පැමිණි සැනෙකින් ආයිෂ් අම්මා ගුණ්ඩු...යනුවෙන් පුංචි කොලු ගැටවුන් කීප දෙනෙක් මහා හඬක් නැගුවේය. එය අසා ජූඩ් අයියා සිනහවක් මිස තරහාවක් ඔවුනට තිළිණ නොකලේය.
දන්නවද මල්ලි...මට ඉන්න හොඳම රසිකයො තමයි ඒ....ජූඩ් අයියාගේ එවදන්..ඔහු ජීවිතයෙන් සමුගෙන ගොස් වසර කීපයක් ගත වුවත් තවමත් මගේ සිතේ රැව් පිළිරැව් දෙයි.

ඉංග්‍රීසි සෑර්ගේ මෝටර් රථයේ ඉදිරිපස ජූඩ් අයියා අසුන් ගත් පසු  නැවත පාසල කරා පැමිණෙන්නට අපට හැකි වූවේය. ඒ ගමන අතර තුර වාහන තදබදයක් තිබෙන තැනකදී ඔහු හඳුනාගන්න අවශේෂ රියදුරන් මෙන්ම මගී ජනතාවද දැක්වූ ප්‍ර‍තිචාර අභිමුව ඔහු ඉතාමත් නිහතමානීව ප්‍ර‍තිචාර දැක්වූවා පමණක් නොව මහත් සේ සතුටු වූ අන්දමද මට මතකය. සමහර විටෙක අපගේ වාහනය පිටුපස අධික වේගයකින් නලාව නාද කරමින් පැමිනෙන සුඛෝපභෝගී බස් රථයක රියදුරා නලාව නාද කර ඇත්තේ ජූඩ් අයියාටය.


ඇන්ටන් ජූඩ් , රොඩ්නි වර්ණකුල සුසංයෝගයෙන් හැඩගැන්වුන Vibration 2006 ප්‍ර‍සංගය සැබැවින්ම සාර්ථක එකක්ම වූවේය. අතුරු සිදුරු නැතුව පිරීගිය ප්‍රේක්ෂකාගාරය පිළිබඳ මේ කලාකරුවන් දෙදෙනාම සිටියේ මහත් සතුටකිනි. ඒ සතුටේ තරම් කෙසේද යත්....

ඇන්ටන් ජූඩ් සහෘදයා අපගේ ප්‍ර‍සංගයට සහභාගි වූයේ යන්නට එන්නට ප්‍ර‍වාහන පහසුකම් සලසනවා යන පොරොන්දුව මත වුවත්...ප්‍ර‍සංගයේ සාර්ථකත්වයෙන් ඔඳ වැඩී සිටි ඔහු 

මල්ලි රොඩ්නියට නම් කියන්න  යන්න එපා... මම ගෙවාගෙන ආපහු යන්නං. මට වාහනයක් විතරක් හොයලා දියං...ජූඩ් අයියාගේ මනුස්ස කම එබඳුය. ඒ වෙද්දී ප්‍රවේශපත්‍ර‍ ආදායම කලාකරුවන් දෙදෙනාගේ අයකිරීම් ආවරණයට, ශබ්ද පරිපාලනයට, ආලෝකකරණ රටාවන්ට අත්තිකාරමක් ගෙවීමට පමණක් ප්‍ර‍මාණවත් වූ වටපිටාවක ප්‍ර‍සංගයේ සංවිධායකයෙකු මා පත්ව සිටි අපහසුතාව සමහරක් විට ඔහුට දැනෙන්නට ඇත. 

මම වහා කුලී රථ සේවා සපයන ආයතනයක් අමතා ඇන්ටන් ජූඩ් කලාකරුවාට රත්මලානට යන්නට ඉතාම හොඳ තත්වයේ වාහනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියෙමි.  මේ ඇමතුමෙන් පසු කුලී රථය පැමිණෙන්නට සිතුවාට වඩා කාලයක් ගත වූ හෙයින් එදින රාත්තිරයේ හෙන්රි ජයසේන මහතාගේ නිවසේ පවත්වන්නට නියමිතව තිබූ පැදුරු පාටිය පිළිබඳ ජූඩ් අයියා සිටියේ කුකුසකින් යුතුවය.

මොකද අනේ මෙච්චර වෙලා ගියේ මේ වාහනේ අරගෙන එන්න. මම රියදුරා ඇමතුවෙමි. කුලී රථ රියදුරා එහි පැමිණියේ අලුත්ම වෑන් රථයකිනි.

මේ හයර් එක එන්න හැම එකාම පොර කෑවා. අන්තිමේදි මම කොහොම හරි ගොඩ දාගත්තා. මම ඇන්ටන් මහත්තයගෙ හොඳම රසිකයෙක්. 

කලාකරුවන් මෙන්ම අපගේ හිතෛශීන්ද අපට සමුදී නිවෙස් බලා යන විටත් මමත් චමියාත් ප්‍ර‍සංගයේ බර කරට ගෙන නිදි වර්ජිතව ගත කල අවසන් රාත්‍රී කීපයක අරුමය විඳිමින් සිටියෙමු. සාර්ථකව අවසන් වූ ප්‍ර‍සංගය අපගේ සියලු ශාරීරික අපහසුතාවයන් පහ කරන්නට ලැබුන ඔසුවක්ම වූවේය.



මම කාමරේ වෙසෙන සිරා කොලුවා.


ප.ලි

2017 නව වසර එළඹෙන්නට විනාඩි ගනනක් තිබියදී, 2016 වසරේ අවසන් ලියමනට මෙසේ තිත තබමි. එළඹෙන නව වසර ඔබ සැමට යහපත් පැතුම් ඉටුවන වාසනාවන්ත එකක් වේවා !

අරුණළු මනුෂ්‍යත්වයේ සත්කාරය විසින් දිඹුලාගල කන්දේගම ග්‍රාමයේදී පවත්වන්නට සූදානමින් සිටින සමාජ සත්කාර වැඩ සටහනට ඔබේ දායකත්වය ලබා දෙන්නට තවමත් කාලය තිබේ. ඒ පිළිබඳ වැඩි විස්තර බ්ලොග් අඩවියේ දකුණු පස ඉහළින් තිබෙන අරුණළු ලාංඡනයට කෙටීමෙන් ලබා ගත හැක.




Thursday, December 15, 2016

47 දිඹුලාගල දෙසට හැරෙමු !

උතුරුමැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන දිඹුලාගල පුරවරය ඉතාම ඈත ඉතිහාසයකට නෑකම් කියන ඓතිහාසික පුරවරයකි. විජයාගමනයට පෙර මේ ප්‍රදේශයේ විසූවෝ යක්ෂ හා නාග ගෝත්‍ර‍ වලට අයත් වූ බැව් පුරවිද්‍යාව පිළිබඳ කරුණු ගෙන හැර බලන විට දැනගන්නට ලැබේ. මේ කියන ඉතිහාසයේදී යක්ෂපුරය ලෙස වර්තමාන දිඹුලාගල පෙදෙස හඳුන්වා දී ඇත. විජය කුමරුන් ලක් දිවට පැමිණෙන සමයේ මහාසේන නම් ප්‍රාදේශීයව බලවත් යක්ෂ ගෝත්‍රික රජතුමෙක් යක්ෂපුරයේ විසූ බවට මුඛ පරම්පරාගතව පැමිණෙන කථා පුවත් රැසකි.

විජය රජතුමාගේ ආගමනයෙන් පසු , ලංකාවේ රජ බවට පත් සය වැන්නා වූ පණ්ඩුකාභය රජතුමා ආර්යයන් සහ ස්වදේශිකයන් අතර වූ ගැටුම් සමනය කරමින් සමස්ත දිවයිනම එක්සේසත් කල පළමු රජතුමාය. එතුමාගේ රාජ්‍ය කාලය වසර 70 කි. පණ්ඩුකාභය කුමරා සහ ඔහුගේ මාමා වරුන් අතර පැවති ඝට්ටනය ඉතාම ප්‍ර‍සිද්ධ කථාවකි. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙහිදී කියන්නට මම රිසි නොවෙමි.

පණ්ඩුකාභය කුමරාගේ (ක්‍රි.පූ 437 - 367) මාමාවරුන්ගෙන් කෙනෙකු වන ගිරිඛණ්ඩසිව කුමාරයාගේ දියණිය වන පාලි කුමරිය දිනක් තම පියාණන් ගොයම් කප්පවමින් සිටි කෙතට බත ගෙනයමින් සිටියාය. එදිනම මේ ගම්මානයට පැමිණි පණ්ඩුකාභය කුමරා සහ පිරිවර මේ කුමරිය බත් ගෙනයමින් සිටින අන්දම දැක ඇගෙන් ආහාරය පිණිස බත් ඉල්ලා සිටියේලු. කුමරිය අසල නුග ගසකින් කඩා ගත් නුග පත් වලට බත් බෙදා සියල්ලන්ටම පිළිගැන්වූ බවත් සැනෙකින් ඒ පත්‍ර‍ රත්රන් පැහැයෙන් දිස් වූ බවත් ඒ නිසාවෙන්ම පාලි කුමරිය ස්වර්ණපාලි යනුවෙන් ප්‍ර‍සිද්ධ වූ බවත් අපේ ඉතිහාස පොතේ සඳහන් වී තිබේ.

බත සප්පායම් වී මේ කුමරියත් රැගෙන දිඹුලාගල පෙදෙසට පලා ආ පණ්ඩුකාභය කුමරා හට ඇගේ පියාගේ සේනාවෙන් එල්ල වූ ප්‍ර‍තිරෝධය වර්තමාන පරාක්‍ර‍ම සමුද්‍රයේ කෙළවරට වන්නට පිහිටා තිබෙන කළහගල නම් ස්ථානයේදී පරාජයට පත් කල පසු මේ දෙපල නිරුපද්‍රිතව දිඹුලාගලට පැමිණ දිඹුලාගල කන්දේ පිහිටි ගල්ලෙනක් ආශ්‍රිතව සේනා රැස්කරමින් රාජ්‍යත්වයට පත්වන තුරු ජීවත් වූ බවත් එහිදී මුටසීව නමින් පුත් කුමරෙකු උපන් බවත් ඉතිහාසය පිළිබඳ සටහන් වී ඇති ඇතැම් තැනක විස්තර වෙයි.

මුටසීව යනු ක්‍රි.පූ 247 දී ලංකාවට මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරන විට රජකම් කරමින් සිටි දේවානම් පියතිස්ස රජතුමාගේ පියාණන්ය. මේ සියලු කථා පුවත් ගෙනහැර බලන විට දිඹුලාගල යනු ලංකා ඉතිහාසයේ රන් අකුරින් සඳහන් වූ පුරවරයක් බැව් පැහැදිලි වන අතර අපේ ආදිතම මුතුන් මිත්තන් මේ පෙදෙසේ ජිවත් වන බවට සැකයක් නැත.

අතීතයෙන් වර්තමානයට පැමිණි විට දිඹුලාගල යන නාමය සවනත වැකෙන සෑම විටෙකම අපවත් වී වදාළ කිතලගම සීලාලංකාර මහ නාහිමියන් පිළිබඳ මතකය අමතක කරන්නට නොහැක. අඩු ආදායම් ලාභී ජනතාවක් වෙසෙන, දරිද්‍ර‍තාවයෙන් මෙන්ම ත්‍ර‍ස්තවාදයෙන්ද ඇති පදම් බැට කෑ මේ ප්‍රදේශවාසීන්ට අර්ථයෙන් ධර්මයෙන් උපදෙස් දෙමින් වැඩ වාසය කල, දිඹුලාගල මහ වැද්දා යනුවෙන් සුරතල් නම් ලද උන් වහන්සේ පා ගමනින් ගම් නියම් ගම් පසු කර යමින් මේ ප්‍රදේශයට ඉටු කරන ලද කාර්යභාරය ඉමහත්ය.

අපවත් වී වදාළ, දිඹුලාගල ආරාණ්‍යධිපති කිතලගම සීලාලංකාර නා හිමියන්

”සියම් නිකාය, අමරපුර නිකාය, රාමඤ්ඤ නිකාය, පොල්කටු නිකාය, බඩකඩුත්තු නිකාය, මේ අමන වචනවලට මම කැමැති නෑ මහත්තයෝ. බුදුහාමුදුරුවෝ අපට ඉගැන්නුවෙ පොදු ක‍්‍රමයක්. සාංඝික ක‍්‍රමයක්. මේ උතුම් ඉගැන්වීමට හින්දුකාරයින්ගෙ කුලභේද අර නිකායවලින් තහවුරු කරනවා. බුදුහාමුදුරුවන්ගෙ ඉගැන්වීමට අර වචන කොයිතරම් විරුද්ධද? මේක බුද්ධාගම වෙන්න බැහැ. අපේ කොල්ලො මේව දැනගෙන තමයි පංසලට නොඑන්නෙ. මම කිසිම කෙනෙකුට මහණ වෙන්න කියලා නැහැ. කියන්නෙත් නැහැ. ආවොත් මහණ කරනවා. ලැබෙන මුදල්වලින් ආරාම පන්සල් හදනවා. ඉතිරිවා නිකාය බේදයකින් තොරව දනට දෙනවා. සතයක්වත් බැංකුවල දාන්නෙ නැහැ. මගේ ක‍්‍රමේ තමයි  ඕක. ඒක හරිද අපේ මහත්තයෝ” 

සීලාලංකාර නාහිමියන් එසේ පැවසූවේ 1982 ජූනි මස 7 වැනිදා දිඹුලාගල ආරණ්‍ය සේනාසනය වෙත පැමිණි එවකට රටේ ප්‍ර‍ථම පුරවැසියා වූ ලංකාවේ ප්‍ර‍ථම විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා ආමන්ත්‍ර‍ණය කරමිනි. නැගෙනහිර පළාතේ සිංහල පවුල් 45000 ක් පදිංචි කරමින්, ආරාම 40 ක් පමණ ඉඳිකරමින් 1980 වන විට උන් වහන්සේ කුලදරුවන් 265 ක් පමණ සසුන්ගත කරමින් මේ කර්කශ භූමියේ මහා පව්රක් පරිද්දෙන් වැඩ සිටි සේක. පසුකළෙක මේ පවුර නොසෙල්වා ඊළාම් සිහිනය ජයගත නොහැකි බැව් තේරුම්ගත් එල් ටී ටී ඊ ත්‍ර‍ස්තයින් විසින් එල්ල කල හිත් පිත් නැති වෙඩි වරුසාවකට මැදිව 1995 මැයි 26 වැනි දින උන්වහන්සේ අපවත් වූයේ තම ශිෂ්‍ය හිමිවරුන්ගේ දිවා ආහාරයට උවමනා එළවළු රැගෙන එන්නට කොරටුවට වැඩම කර එන අතරතුරයි.

දිඹුලාගල පුරවරය එකළු කල  සීලාලංකාර හිමියන්ගේ අපවත් වීමෙන් පසු අප දැන් වසර 21 ක් පසුකොට තිබේ. ඒ අතර තුර කාලයේ ඒ පෙදෙසේ මෙන්ම සමස්ත රටේ ඇති වී ඇත්තේද විශාල විපර්යාසයකි. වර්තමාන ආණ්ඩුව පෙළ පොත් වෙනුවට පාසල් දරුවන්ට ටැබ් පරිගණක බෙදා දෙන්නට කොළඹ සීත කාමර වල සිට සැළසුම් සකස් කරන වකවානුවක ක්‍රීඩා භාණ්ඩයක් හෝ සංගීත උපකරණයක් මෙන්ම සංගීත ගුරුවරයකුද නොමැති පාසලක් පිළිබඳව අසන්නට ලැබුනේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ, දිඹුලාගල අධ්‍යාපන කලාපයේ කන්දේගම ග්‍රාමයෙනි. මෙතෙක් මා තැබූ සටහන දැන් කියන්නට යන ඒ කථාව වෙනුවෙන් වූ පූර්විකාවකි.

අසරණ ඉස්කෝලයක් තියෙනවා දිඹුලාගල ඇතුලට වෙන්න. ඒකෙ ඉන්න මම දන්න උපාධිදාරී ගුරුවරයෙක් තමන්ගෙ පඩියෙන් භාගයක් විතර ඉස්කෝලෙටම වියදම් කරනවා ළමයින්ගෙ උවමනා වෙනුවෙන්. උඹට යමක් කරන්න හැකි නම් කියලා වැඩක් නෑ මල්ලි. සවුදියේ ඉන්දික අයියා මා වෙත ඔත්තුව දුන්නා පමණක් නොව අදාළ ගුරු භවතා සම්බන්ධ කරගත හැකි අංකයක් ලබා දෙන්නටද කාරුණීක වූවේය.

මම කල්යල් නොයවා ඔහු ඇමතුවෙමි. කථාව සහසුද්දෙන්ම ඇත්තකි. පාසලේ ක්‍රීඩා උත්සවයක් තියා ක්‍රීඩා භාණ්ඩද නැත. අපිට වොලිබෝල් දැලක් තියෙනවා...ඒ උනාට වොලි බෝලයක් නෑ. මෙහෙව් රටක පාලකයන් දිය යුතු දේ වෙනුවට ලබා දෙන්නට දත කන දෑ දෙස බැලූ විට සිනාසෙන්නද අඩන්නද කියා සිතාගන්නට අපහසුය.

අපේ ඉස්කෝලෙ කන්දේගම කණිෂ්ඨ විද්‍යාලය තමයි උතුරු මැද පළාතෙ අන්තිම කෙළවරේ තියෙන ඉස්කෝලෙ. ඒ නිසාම මේ තියෙන අඩුපාඩු බාහිර ලෝකෙට විවර වෙන්නෙ ඉතාම කලාතුරකින්. අපේ ඉස්කෝලෙ අසරණ දරුවන් වෙනුවෙන් යමක් කරන්න පුලුවන් නම්, එයාලගෙ අඩුපාඩු නැති කරගන්න දායක වෙන්න පුලුවන් නම් ඒක වචනයෙන් කියන්න බැරි තරමේ උදව්වක්.

තම වැටුපෙන් වැඩි කොටසක් මේ දරු දැරියන් වෙනුවෙන්ම වැය කරමින් පාසලේම ඇති අඩු පහසුකම් සහිත ගුරු නිවාසයක නැවතී සිටිමින් උදාර මෙහෙවරක යෙදෙන ගුත්තිල පරපුරට ආභරණයක් බඳු  මහේෂ් නැමති මේ තරුණ ගුරුභවතා මාගෙන් ලද පළමු ඇමතුමේදීම මා හට සැල කර  සිටියේ සංවේදී කටහඬිනි.

ගුරු කමට  සැබෑ අරුතක් එක් කල මහේෂ් ගුරුතුමා



සංගීතය ඉගෙනුම පිණිස ඇත්තේ තාල වාද්‍ය භාණ්ඩ කීපයක් පමණි.




අපේ ඉස්කෝලෙ දරුවන්ගෙ දෙමාපියන්ට ලොකු ලොකු රස්සා නෑ...හේන් ගොවිතැන, වැවේ මාළු අල්ලන එක නැත්තං වෙනත් පුංචි පුංචි ආර්ථික ක්‍රියාකාරකම් වල නිරත වෙලා තමයි මේ දරුවන්ව පාසල් එවන්නෙ. මේ තියෙන ආර්ථික ගැටලු වලට අමතරව සාමාජයීය වශයෙනුත් ප්‍ර‍ශ්න තියෙනවා. ගොඩාක් පවුල් වල අම්මා තාත්තා එකට පවුල් කන්නෙ නෑ. සමහර අම්මලා, සමහර තාත්තලා මේ දරුවන්ගෙන් වෙන් වෙලා වෙන වෙන පවුල් කනවා. ගැහැණු දරුවො ඉක්මනින් අධ්‍යාපනයෙන් බැහැර වෙනවා. ඊට පස්සෙ අඩු වයසෙන් කසාද බඳිනවා. ඊට පස්සෙ දරුවන්ගෙ ප්‍ර‍ශ්න, ආර්ථික ප්‍ර‍ශ්න..එකම චක්‍ර‍යක මේ හැමෝම හැමදාම කැරකෙන්නෙ. අපිට පුලුවන් නම් එක දරුවෙක් හරි අධ්‍යාපනය පැත්තෙන් උඩට යවන්න එයා යම් දවසක මේ චක්‍රයෙන් මිදිලා ජීවත් වෙයි.

මේ කථා බහෙන් මට දැනුන සංවේදී කථාන්දරය තවත් සහෝදර බ්ලොග්කරුවන් / කාරියන් කීප දෙනෙකුටම කියන්න අවස්ථාව ලැබුනට පස්සෙ අපි හැමෝම කථා උනේ මේ සඳහාම පිහිටුවාගන්නා නැවුම් සංගමයක නමින් මේ සත්කාරය සිදු කරලා, එතැනින් පස්සෙ වර්ෂයකට එක බැගින් දිගටම මෙවැනි දුර ඈත පාසල් වෙත උපකාර කල යුතුයි කියලා.

මේ නැවුම් එකමුතුවට නමක්, බැංකු ගිණුම් අංකයක්, මේ හැමදේම සූජානම් උනේ බොහොම කෙටි කලෙකින්, මේ කාර්යයට දායක වෙලා ඉන්න බ්ලොග් කරුවන් කාරියන්ගෙන් ලැබුනෙ ඉතාම උණුසුම් ප්‍ර‍තිචාරයක්. ඒ ප්‍ර‍තිචාරය එක්ක වරින් වර මහේෂ් ගුරුතුමා එක්ක කරපු කථා බහෙන් ඒ අයට උවමනා මොනවාද කියන ගැටලුවට පිළිතුර එයාලටම දෙන්න කියලා අපි කිව්වා. පහළින් පලකොට තිබෙන්නේ ඔවුන් අපට එවන ලද ලැයිස්තුව.

මම මේ ඉස්කෝලෙට ඇවිත් වැඩි කාලයක් නෑ. මම ආවෙත් ප්‍රාථමික අංශයට, ක්‍රීඩාව ගැන මේ දරුවන්ට යමක් කියාදෙන්න කෙනෙක් නැති නිසා මම ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් උනා. අපි හැදුවා ගමේ සම්පත් එකතුකරගෙන මේ පරිසරයෙදි ලේසියෙන්ම කරන්න පුලුවන් ක්‍රීඩාවක් විදියට එල්ලේ කණ්ඩායමක්. තරග වලදි හොඳ දුරක් ගියා එයාලා. මේ දරුවන්ට ආත්ම ශක්තිය තියෙනවා, ඇගේ හයිය තියෙනවා...ඒත් ඒ අයට උවමනා සම්පත් නෑ. අඩු ගානෙ ක්‍රීඩාවට ගැලපෙන සපත්තු ජෝඩුවක් අරගෙන දෙන්න වත්කමක් එයාලගෙ දෙමාපියන්ට නෑ. මේ පිට්ටනියෙ ගල් බොරළු වලට කකුල් කපාගෙන ලේ පෙරෙද්දිත් ඒවා අමතක කරලා මේ දරුවො ක්‍රීඩාවෙ නිරත වෙන්නෙ ඒ හිත්වල හිරවෙලා තියෙන ආත්ම ශක්තිය හින්දයි, ක්‍රීඩාවට තියෙන ආශාවයි නිසා.

මේ දරුවන් සතු එකම ක්‍රීඩා උපකරණය

ගායනයට දක්ෂ දරුවො ඉන්නවා. ඒත් පාසලට සංගීත බඩු වගේම සංගීත ගුරුවරයෙකුත් නැති හින්දා ඒ දරුවො චිත්‍ර‍ හරි නැටුම් හරි ඉගෙන ගන්නවා. සමහර වෙලාවට සමහර දරුවො මේ විෂයන් දෙකටම දක්ෂ නෑ. ඒත් සංගීතයට දක්ෂයි. මොනවා කරන්නද...එහෙම දරුවන්ට සංගීතය ඉගෙනගන්න මේ පාසලේදි අවස්ථාවක් නෑ. මහත්තයලා ඉස්කෝලෙ යද්දි ලැබුන අත්දැකීම් වලින් භාගයක් මේ අහිංසක දරුවන්ට ලැබෙන්නෙ නෑ. ලංකාවෙ පාසල් අධ්‍යාපනයෙ මේ තියෙන වෙනස නැති වෙන දවසක් නම් පේන තෙක් මානෙක නෑ. මහේෂ් ගුරුතුමා තවත් දවසක එහෙම කිව්වා.

මම සේවය කරන ප්‍රාථමික අංශයේ දරුවො බහුතරයක් සතියකට දවස් දෙකක් පාසලින් වේලාසන යනවා මොකක් හරි අසනීපයකට, හමේ රෝග, උදරාබාධ වගේ දේවල් ඉතාම බහුලයි. සමහර දරුවන්ට මන්ද පෝෂණ තත්වයන් පවා තියෙනවා. පොදුවෙ ගත්තම මේ ගම්මානෙ බොහෝ පිරිසකට වකුගඩු සම්බන්ධ රෝගාබාධ ඇතිවෙලා තියෙන්නෙ පානීය ජලයෙ තියෙන අඩුපාඩු නිසා. කොළඹ ඩී . එස් සේනානායක විද්‍යාලයේ පිරිසක් දැන් මාසයකට විතර කලියෙන් වතුර ෆිල්ටරයක් පාසලට ලබා දුන්නා. ඒ සත්කාර්යයට කලියෙන් අපේ පාසලේ දරුවො පිපාසයට වතුර බිව්වෙ සාමාන්‍ය නළ ජලය. මේ දරුවන්ගෙ දෙමාපියන්ටත් ඒ අයට උවමනා ප්‍ර‍තිකාර පුද්ගලිකව කරන්න තරමේ වත්කමක් නෑ. පාසලේ ඉදන් ලගින්ම තියෙන අරංගාවිල රජයේ රෝහලටත් කිලෝමීටර් 20 ක විතර දුරක් තියෙනවා.


විදුහලේ අඩුපාඩු මහේෂ් ගුරුතුමාගේ හඬින් 

එහෙනම් අපි ආධාර බෙදා දෙන දවසට වෛද්‍ය කඳවුරකුත් පවත්වමු. දරුවන්ට වගේම ඒ අයගෙ දෙමාපියන්ටත්. මේ පණිවිඩය අපේ හිතවත් වෛද්‍ය මිත්‍ර‍යන්ට දැනුම් දුන්නම ඒ අය ඉතාම සතුටින් මේ සත් කාර්යයට දායක වෙන්න කැමති උනා.

අලුත් දවසක උදාව සනිටුහන් කරමින් පොළොවට මුලින්ම වැටෙන ආලෝක තීරු වලට කියන්නෙ අරුණළු කියලා. මේ අරුණළු දිහා බලාගෙන මිනිස්සු අලුතින් උදාවෙන දවස ගැන විවිධ ප්‍රාර්ථනා කරනවා. අද දවස ඉතාම සාර්ථක එකක් වෙන්න කියලා අධිෂ්ඨාන කරනවා. අන්න ඒ වගේ  බ්ලොග් කරුවන් / කාරියන් කීප දෙනෙක් එක්ක අපි පටන් ගත්ත අලුත් එකමුතුවට යෙදුව නමත් අරුණළු.

අරුණළු මනුෂ්‍යත්වයේ සත්කාරය, ඒක තමයි අපේ නම. මේ අරුණැල්ල දිඹුලාගල කන්දේගම කණිෂ්ඨ විද්‍යාලයේ දරුවන්ගෙ අනාගතයට නිසැකවම එළියක් වේවි. ඒ එළියේ කොටස් කරුවෙක් වෙන්න....ඒ අයගෙ හීන පාට කරන්න ලස්සන ලස්සන පාට දෙන්න මේ ලිපිය කියවන ඔබ හැමෝටම හැකියි. අපේ මේ සත්කාර්යය ගැන දැනගන්න ලැබුන මුහුණු ටීවී ආයතනය මේ වෑයම වෙනුවෙන් මාධ්‍ය අනුග්‍ර‍හය දෙන්නත් එකතු වෙලා අහවරයි.



අපේ ගිණුමට ලැබෙන රුපියලක මුදලක් වුවත් මේ අසරණ දරුවන්ගෙ බලාපොරොත්තු ඉහළ නංවාවි. නොයෙක් බාධක කම්කටොළු මැද සිදුකෙරෙන එයාලගෙ ඉස්කෝලෙ ගමනට දහස්වර ශක්තියක් වේවි. සිරා කොලුවා විදියට මම පොරොන්දු වෙනවා ඔබ දාඩිය මහන්සියෙන් හම්බකරලා මේ ගිණුමට බැර කරන මුදල විනිවිද භාවයක් ඇතුව මේ කාර්යය උදෙසා එකතු කරන බවට...ඉදිරියේදී වෙනත් බ්ලොග් කරුවන් විසින් පලකරන දිඹුලාගල සත්කාර්යය පිළිබඳ තවත් ලිපි වලදි ගිණුමේ ශේෂය පිළිබඳ ආධාර ලබාදෙන ඇත්තන්ව යාවත්කාලීන කරාවි. මේ පාසලේ තවත් බොහෝ තොරතුරු ඔබට ගෙන ඒවි.

2017 වසරේ පෙබරවාරි මස සති අන්තයකදී මේ සියළුම ආධාරයන් කන්දේගම කණිෂ්ඨ විද්‍යාලය වෙත තිළිණ කරන්නයි අපි හැමෝම මේ වෙද්දි තීරණය කරලා තියෙන්නෙ. ආධාර වලට අමතරව මේ පුංචි ඇත්තො පුදුමයට පත් කරන්න තවත් වටිනා කියන දේවල් කීපයක්ම මේ එක්ක ලෑස්ති කරන්නයි අපේ වෑයම.

මුදලින් කැමති නම් මුදලින් ආධාර කරන්න. එහෙම නැතිනම් ඒ අය ඉල්ලලා තියෙන දේවල් අරගෙන දෙන්න පුලුවන් නම් එහෙම ආධාර කලත් කමක් නෑ. මේ තියෙන්නෙ එයාලා අපෙන් ඉල්ලන දේවල් කිසිදු වෙනස්කමක් කරන්නෙ නැතුව.





පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව ඒ ඒ වසර අනුව


මේ තියෙන්නෙ අපේ ගිණුම් විස්තර. මේ ගිණුම් අංකයට ඔබේ වටිනා ආධාර ලබා දෙන්න පුලුවන්. ද්‍ර‍ව්‍යමය ආධාරයක් ලබාදෙනවා නම් ඒ පිළිබඳ සම්බන්ධීකරණය සඳහා 071 804 3915 දුරකථන අංකය අමතන්න.

Account Name : Arunalu Manushathwaye Sathkaraya
Account No      : 121261002661
Bank                 : Sampath Bank, Gampaha Super Branch


අදුරට ශාප කරමින් ඉන්නවාට වඩා එක් පහනක් හෝ දැල්වීම මැනවි යන අදහසේ සිටිමින් අප විසින් අරඹන මේ සත්කාරයේ අරමුණු ශපථ කරගන්නට අපට හැකියාව ලැබේවා. ඔබේ හැකියාව අනුව මේ කාර්යය වෙනුවෙන් වැඩි වැඩියෙන් ආධාර එකතු කරන්නට ඔබ සැමට පින් සිත් පහළ වේවා ! අපේ ආධාරයෙන් විකසිත වන මේ සිසු දරුවන්ගේ බලාපොරාත්තු ඔවුන්ගේ අනාගතය යහපත් ඉසව්වකට ගෙන යන්නට උපකාර වේවා ! 

හිතවත් බ්ලොග්කරුවනි. අරුණළු ලාංඡනය ඔබේ බ්ලොග් අඩවියේ ප්‍ර‍දර්ශනය කොට මේ සත්කාර්යයට ඔබේ සහයෝගයත් ලබා දෙන්න. 



මම කාමරේ අරින සිරා කොලුවා.




පසු සටහන

සීලාලංකාර හිමි පිළිබඳ ඇතැම් විස්තර උපුටා ගත්තේ රවී ප්‍ර‍සාද් හේරත් විසින් ලියූ JR.The Mafia Type Free Thinker නැමති කෘතියෙනි. එහිමියන් පිළිබඳ ඡායාරූපය පී.බී ඉලංගසිංහයන් විසින් ගත් එකකි.

බ්ලොග්කරුවන් ලෙස අප සතු සාමාජීය වගකීම නිසි ලෙස හඳුනාගනිමින් මේ සත්කාර්යය දියත් කරන බැව් සැළකුව මැනවි.

Monday, October 31, 2016

49 මොරිස් මයිනරය සහ Vibration

සිරා කොලුවාගේ බෑන්ඩ් කෙරුවාව ගැන බොහෝ තතු කාමරයට යන එන ඇත්තෝ සෑහෙන කාලයක සිට කියවති. පාසල් සමයේ මුලු හදින්ම පෙම්බැදි තූර්ය වාදක ඛණ්ඩ ඉතිහාසයත්, ඒ තුල විඳින්නට ලැබුන දුක්ඛ දෝමනස්සයන් මෙන්ම කම්කටොළුද නැවතිල්ලේ මෙනෙහි කරන වර්තමාන දවසක සිතට දැනෙන්නේ කදිම ප්‍ර‍හර්ශයකි. එදා සිරා කොලුවාගේ සම වයසේ සිටි අයිය බඩා, ජපන් චමියා, කිඩා වැනි උන් සමග කල මහත් කැපකිරීම් වල ප්‍ර‍තිඵලය ලෙස තවමත් අප විද්‍යාලයේ බටහිර තූර්ය වාදක ඛණ්ඩය යෙහෙන් වැජඹෙයි.

2003 වසරේ දවසක එවකට කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කල, දැන් කැන්ගරු දේශයේ වෙසෙන මංජු මලයා ප්‍ර‍සිද්ධ කලාකරුවන් කීප දෙනෙකු සමග සංගීත ප්‍ර‍සංගයක් පැවැත්වීමට සැලසුම් කලේ අපගේ බෑන්ඩ් ඉතිහාසයේ නවමු පියවරක් තබමිනි. ඒ සඳහා මංජු මලයා සහ පිරිවර තැබූ නාමය Vibration 2003 වූවේය. එතැන් පටන් වාර්ෂිකව පැවැත්වූ මේ ප්‍ර‍සංගය තෙවැනි වරටත් පවත්වන්නට කටයුතු යෙදිනි.

ඒ වන විට කණ්ඩායමේ ආදි ශිෂ්‍යයන් ලෙස කල දවස ගෙවූ සිරා කොලුවා ඇතුලු ආදි සාමාජිකයන්ගෙන් එවකට කණ්ඩායමේ සිටි සාමාජිකයන් Vibration 2006 ප්‍ර‍සංගය සඳහා උපරිම සහයෝගය බලාපොරොත්තු වන බව පැවසූයෙන් අප සියල්ලෝම මේ නව අත්දැකීම විඳගන්නට එක් වූයේ ඉතාම සතුටිනි.

ප්‍රවේශපත්‍ර‍ නිකුත් කොට, විද්‍යාලයට පරිභාහිර ප්‍රේක්ෂක සමූහයක් ඉදිරියේ පැවැත්වෙන ප්‍ර‍සංගයක් නිසා පුහුණුවීම් වෙත යොදවා තිබූ අධික බර තැබීම හේතුවෙන් ප්‍ර‍සංගයේ සංවිධාන කටයුතු සහ තවත් අටෝරාශියක් වැඩ කටයුතු ආදි සිසුන් වෙත පවරාගෙන ප්‍ර‍සංගයට වාදනයෙන් දායක වන පිරිස ඒ වගකීම් වලින් නිදහස් කිරීමට අපි තීරණය කළෙමු. සිරාගේ කාමරයේ අද කථාව ඇරඹෙන්නේ එතැනිනි.

පරණ උන් ටික තිතට ගේම ගහන්න ඕනෙ...දැන් ඉන්න කොල්ලො ටිකට බරක් නොවැටෙන්න. ඔය ගැන අපි කථා කරමු පොඩි මීටිමක් දාලා. හැමෝම වරෙල්ලා. ලොකු අයියා එවකට සේවය කල පරිගණක අධ්‍යාපනය සම්බන්ධ ආයතනයේ කාර්යාල භූමියේම අපි අපේ පළමු රැස්වීම පැවැත්වූවෙමු.

මේකෙ ලයිටින්ද, සවුන්ඩ්ස්ද, අරවද මේවද උපරිමයෙන් තියෙන්න ඕනෙ. මේක අපි ලයිව් රෙකෝඩ් කරලා ටීවී චැනල් එකක ගහමු අනුග්‍රාහකයෙක් හොයාගෙන. අපිට ඕනෙ නම් රොකෝඩින් එක සීඩී එකකට ගහලා විකුනන්නත් පුලුවන්.

ලොකු අයියා රැස්වීමේදී මහා පරිමාණ සැලසුමක් හෙළි කලද , අනෙකුත් උන් ඒ ඉලක්ක වෙත යාමට සහයෝගය දෙන බැව් කීවද අවසානයේ මේ මහා වගකීම් ගන්නට කිසිවෙකු නොපැමිණෙන බව අපේ අක්මා වලට දැනෙයි.

ඕකුන් එකෙක්වත් ඔය කිසිම දෙයක් කරන්න එන්නෙ නෑ බං. අපි දෙන්නා ගේම ගහමු. ජපන් චමියාත්, අයිය බඩාත් මමත් ඉතාම සමීප උන්ය. අයිය බඩා නාවික හමුදා තූර්ය වාදක රාජකාරි නිසා මේ කාරියට එන්නේ නැත.

කරන්න තියෙන දේවල් ටික බෙදාගෙන කරමු. අතේ ලොකු ගානක් නැති නිසා ලැබෙන සල්ලි පරිස්සමට වියදම් කරගෙන යං. මුලින්ම ආටිස්ට්ලට කථා කරලා ඒ අයව බුක් කරගමු. ඊට පස්සෙ ලයිටින් සවුන්ඩ්ස් ටික බලලා ඊට පස්සෙ යමු පෝස්ටර් බැනර් කටවුට් වලට.

රොඩ්නියයි, ඇන්ටයි දෙන්නම මගෙ යාලුවො බං..ඕනෙනම් මම උන් දෙන්නව අඩුවට සෙට් කරන්නං. ආදි සිසු ආම්ස්ට්‍රෝන් පෙර දවසක කිව් කථාව මට සැනින් මතක් විය.

අපි ආටිස්ට් වැඩේ ආමට දෙමු. ඌ තිතට වැඩේ දෙයි. චමියාද එයට විරුද්ධ නැත.

සතියක් දෙකක් ගත වන තැන මූලික කටයුතු නිම වී තිබුනි. නගරාධිපතිතුමාගේ අනුග්‍ර‍හය නිසා කටවුට් වලට නගර සභාවෙන් බදු මුදලක් අය කලේ නැත. ප්‍ර‍සංගය යෙදී තිබූ දිනය වන විට තම ශිෂ්‍ය ප්‍ර‍ජාවගේ දක්ෂතා මතින් තම කීර්ති නාමය දිදුලන බව දැන සිටි අපගේ බෑන්ඩ් මාස්ටර් හැකි සෑම විටෙකම පුහුණුවීම් සිදු කලේය. සිසුන්ගේ අධ්‍යාපන කටයුතු වලට සිදුවන බාධා අවම වන පරිදි යොදාගත් රාත්‍රී කාලයේ පුහුණුවීම්  සුලභ විය.

එකල මාස්ටර් විසින් භාවිතා කල ලා කොල පැහැති මොරිස් මයිනර් 1000 රථය ඒ සෑම රාත්‍රියකම ප්‍ර‍ධාන ශාලාව ආසන්නයේ නවතා තිබුනි. එහි ඉදිරි එක් දොරක් අගුලු දැමිය නොහැකි බවත්, මාස්ටර් බොහෝ විට රථයේ යතුර රැගෙන නොයන බවත් ඒ වන විට අපි අත්දැකීමෙන් දැන සිටියෙමු.

ප්‍ර‍සංගයේ වැඩ රාජකාරීන් අස්සේ මාස්ටර්ගේ රථය ඔහුට හොරා අපි සිත් සේ ධාවනය කළෙමු. රිය ධාවනයට හැකියාව තිබූ හැම එකාගෙම අතින් අතට මොරිස් මයිනරය මාරු වෙයි. ඇති පදම් මයිනරය එලවූ පසු හොඳ ළමයින් මෙන් මාස්ටර් නතර කල තැනම රථය නැවතත් නතර වෙයි.

සංවිධාන වැඩ කටයුතු වලට අත තිබූ මුදල් ඉතාම සීමිත වූ නිසාම අපි බොහෝ විට දන්නා අඳුනන අයගෙන් සහයෝගය පැතුවෙමු. ආනන්ද අයියාද එවැන්නෙකි. ඔහුගේ නිවසේ තිබූ කුඩා පහේ ලොරි බට්ටෙක් සිය මෑණියන්ට හොරෙන් රැගෙන විත් හෙතෙම බොහෝ විට අපේ කටයුතු වලට සහයෝගය දුන්නේ ඔහු බෑන්ඩ් කෙරුවාවට දායක වී නොමැති වුවද විදුහලේ ආදි සිසුවෙකු වූ අරුමය නිසාමය.

එක් දිනක් රාත්‍රියේ ගම්පහ නගර සීමාවේ කටවුට් බැනර් එල්ලන්නට යොදාගෙන සිටියෙමු. එහෙත් ගිවිසගත් වේලාව සෑහෙන්න පසු වී තිබුනත් ආනන්දයා නැත. ඒකාගේ ජංගම දුරබණුවද වැඩ නැත. සැකයක් නැත. ආනන්දයා සිය මෑණියන්ගෙන් ලුණු ඇඹුල් සහිතව අසා ගත් දිනයක් විය යුතුය. ඒ අතර තුර පුහුණුවීම් නිමකොට බෑන්ඩ් මාස්ටර් අප හට සම්මුඛ වෙයි.

උඹලා තවම ගියෙ නැද්ද බං...සෑර් විමසයි...

යන්න වාහනයක් නෑ සෑර්...ආනන්දයා ආවෙ නෑ...

ඉනිමගක් එහෙම තියෙනවද බැනර් එල්ලන්න...මාස්ටර් නැවතත් විමසයි.

ඔව් සෑර්....

එහෙනම් ඉනිමග කාර් එක උඩ තියාගෙන යමල්ලා මේකෙ...

සෑර් රථයේ රියදුරු අසුනේ වාඩි වන විට අවට සිටි බහුතරයද රථය තුලට රිංගන්නට මාන බැලූහ.

එහි ප්‍ර‍තිඵලය ලෙස රථය තුල සිටි පිරිස 7 කි. බොනට්ටුව දෙපසට වී ඉනිමග අල්ලාගෙන යන්නට තවත් දෙදෙනෙකි. ඩිකිය තුල තවත් දෙදෙනෙකි. එවිට සමස්ත මගීන් ගනන රියදුරු සමග 11 කි.

මේ මහා වන්දනා නඩයද සමග ඉඹි ගමනින් ඉදිරියට ඇදුන මොරිස් මයිනරය තැන් තැන් වල නතර වන්නේ ඒ ස්ථාන වල කටවුට් එල්ලීම උදෙසාය. එවන් විටෙක ගම්පහ පොලෝසියේ මුර සංචාරක ජීප් රථයක් අපට සම්මුඛ වූවේය. ගම්පහ පොලෝසියේ වාර්ෂික පරීක්ෂණ සඳහා කාලයක සිට තූර්ය වාදක සහයෝගය ලබා දුන් නිසා ඔව්හු අප කණ්ඩායම සමග මෙන්ම මාස්ටර් සමගද ඉතා හිතවත් ඇත්තෝ වූහ.

ආ..මාස්ටර්...අපි දන්නෙත් නෑනෙ මාස්ටර් ලොරියක් ගත්තා කියලා.

මොන ලොරිද කොල්ලො...මේ අපේ උන්ට බැනර් කෑලි ටික එල්ලගන්න වාහනයක් නෑ කියලා අටෝගෙන ඉද්දි කඩාවැටුනත් කමක් නෑ කියලා මේ කාර් එකට පටවගෙන ආවෙ.

ඒ රාත්‍රියේ අපගේ මාස්ටර් කෙරෙහි නූපන් මහා භක්තියක්..මේ ලියමන ලියනා මේ රාත්‍රියේ මගේ සිතේ උපදින්නේ මා එදාට වඩා අද වයසින් මුහුකුරාගොස් සිටින නිසා විය යුතුය. එදා ඔහු අප වෙනුවෙන් කල කැපකිරීම් වර්තමානයේ වඩ වඩාත් දැනෙන නිසා විය යුතුය.

එවකට අපගේ බෑන්ඩ් මාස්ටර්  ප්‍රේමසිරි ගම්හේවා මැතිඳුන්
 අපේ එකෙකුගේ විවාහ මංගල අවස්ථාවකදී සිය සැක්සෆෝනය වාදනය කරන අතරතුර.
දිවි මගේ 82 වන විය ඉක්මවා සිටියත් වෙඩිම අපේ එකෙකුගේ නම් අපේ මාස්ටර් අදටත් මෙලෙස වයයි.

අතුරු ආපදාවකින් තොරව ගම්පහ නගර සීමාවේ කටවුට් සහ බැනර් එල්ලාගන්නට මාස්ටර්ගෙන් ලැබුන සහයෝගය පිළිබඳ කියන්නට වදන් නැත.

ප්‍ර‍සංගයට තවත් ඇත්තේ සති දෙකකි. ඒ වන විටත් කලාකරුවන්ගේ නම් රැගත් පෝස්ටරය වාර කීපයකදීම ගම්පහ නගරය පුරා ඇළවී තිබුනි. කලාකරුවන් සම්බන්ධීකරණය ආම්ස්ට්‍රෝන් විසින් බාරගෙන තිබූ නිසා මමත් චමියාත් කිසි විටෙක ඔවුන් අමතන්නට උත්සාහ නොකලෙමු.

මචං ආමා සමහර වෙලාවට බුල කෙලිනවා. කෝකටත් කියලා ආටිස්ට්ලට කථා කරලා බලමු...මම සැනෙකින් ඇන්ටන් ජූඩ් හිතවතාගේ ජංගම දුරබණුවේ අංකය සොයා ඇමතූවෙමි...

කවුද ?

අපි මේ ගම්පහ ඉස්කෝලෙන්...අපේ සංගීතෙට දිනය මතකයි නේද ජූඩ් අයියා ?

මොන සංගීතයක්ද ?

ඇයි කිව්වෙ නැද්ද ?

කවුරුවත් මට කිව්වෙ නෑ එහෙම සංගීතයක් ගැන....

මාර වැඩේනෙ...අපි පෝස්ටරුත් ගහලා ඉවරයිනෙ...

එහෙම කොහොමද මගේ නම දාලා පෝස්ටර් ගහන්නෙ මම දන්නෙත් නෑනෙ...ජූඩ් අයියාට මල උපරිමේටම පැන ඇත. සමහර දවසක ආමා වැඩක් කළොත් හත් පොලේ ගාගන්නා වග අපට අමතක වූ අරුමය සිහිපත් කරමින් මම ජූඩ් අයියාට යාප්පුවෙන් කථා කළෙමි.

එහෙම කියන්න එපා ජූඩ් අයියා..ඔයා නාවොත් අපි අනාථ වෙනවා...

කවදද මල්ලි ඔය කියන දිනේ...

ජනවාරි මාසෙ ..... දවසෙ...

මට එන්න විදියක් නෑ.....එදා හැන්දෑවට හෙන්රි ජයසේන මහත්තයගෙ ගෙදර පැදුරු පාටියක්...

එහෙම කියන්න එපා අයියා...මේ වැඩේ කොට උඩ යයි එහෙම උනොත්..කොල්ලො ගොඩාක් මහන්සි වෙලා වැඩේ කරන්නෙ. මම වාහනයක් එවන්නං රත්මලානටම.

හරි මල්ලි මට දවස් දෙකක් දියං..මම හරියටම උත්තරේ දෙන්නං.

එයින් අනතුරුව අපේ ඇමතුම රොඩ්නි වර්ණකුල සහෘදයා වෙතද යොමු විය. එතැනදීද ආමා කිසිම දෙයක් ඔහු සමග කථා කොට නොතිබූ අතර අපේ වාසනාවට ඔහුට ප්‍ර‍සංගය යෙදී තිබුන දිනයට රාජකාරියක් යෙදී තිබුනේ නැත.

දින දෙකකට පසු ජූඩ් අයියාද සහභාගි වන්නට කැමති වූයෙන් අපේ සිත් සතන් වල නැගි භිය සංකා දුරුව ගියේය.

ප්‍ර‍සංගයට සතියක පමණ කාල පරාසයක් වන විට අමුතුම පිබිදීමකින් සියල්ලෝම ඉතා උවමනාවෙන් ප්‍ර‍සංගය සාර්ථක කරගන්නට වෙහෙසමින් සිටියෝය. සැම සන්ධ්‍යාවකම ටිකට් පත් අළෙවිය සහ ප්‍ර‍සංගය පිළිබද දැනුවත් කිරීමට අප තීරණය කොට සිටියෙමු. හැකි සැම විටෙකම ආනන්ද අයියා අම්මාගේ ඇස් වසා ලොරි භාගය පාසලට රැගෙන ආවේය. ගෙදරට හොරෙන් පන්නාගත් රුපියල දෙක එතකු කොට අපි ආනන්දයාගේ ලොරි භාගයේ ටැංකිය පිරවීමු. කොහෙන්දෝ පිනට සොයාගෙන විත් තිබූ යකඩ කටවල් දෙක ලොරි රථය මත සවිකල පසු එය ගම්පහ නගරයේ අහුමුළු නෑර සැරිසරයි. ප්‍ර‍සංගයේ ගුණ වර්ණනාව ගැයෙයි. ටිකට් පත් අළෙවි වෙයි.

මේ රථයේ සිට බොහෝ වෙලාවට නිවේදක භූමිකාව රගන්නට සිරා කොලුවාට සිදු වූවේය. ඇතැම් දවසක දෙරණ රූපවාහිනියේ දතා මලයාද මගේ සහයට පැමිණියෙන් කටයුතු තවත් පහසු විය. තනිව බොහෝ වෙලාවක් ප්‍ර‍චාරන කටයුතු සිදු කරන විට උගුරු දණ්ඩ පවා රිදුම් දෙන්නේ මට විවේකයක් දියං කොල්ලො යනුවෙන් පවසමිනි.

ජපන් චමියාගේ සහ සිරා කොලුවාගේ නායකත්වයෙන් අපට වඩා කණිෂ්ඨ සාමාජිකයන් රැසකගේම සහයෝගයෙන් ප්‍ර‍සංගයේ සංවිධාන කටයුතු මැනවින් සිදුවෙන පසුබිමක සෑම දිනෙකම රාත්‍රියේ පාසලට එක් රැස්වන පිරිස කෙමෙන් කෙමෙන් වැඩි වූවේය. ඒ අයට වගකීම් බෙදා දී අපද යම් කාර්යයක නිරත වූවෙන් සියලුම සැලසුම් හොඳින් ක්‍රියාත්මක කරන්නට හැකි බව මමත් චමියාත් අත් දැක්කෙමු. එහෙත් ප්‍ර‍සංගය පිළිබඳ පූර්ව රැස්වීම් තබා පොර සහ කොර ටෝක් දුන් ලොකු අයියා ඇතුලු කිසිම එකෙකු පාසල පැත්ත පළාතක තවමත් නැත.

මේ කාලය වන විට තම පළමු සේවා ස්ථානය හා සම්බන්ධව සිටි ගණකාධිකාරී ජෝතියාද කඩි මුඩියේ එක් රැයක අප සොයා පැමිණියේ තමන්ට හැකි තරමේ සහයෝගයක් මේ ප්‍ර‍සංගය වෙනුවෙන් ලබා දීමේ පිවිතුරු අපේක්ෂාවෙනි. එදා මධ්‍යම රාත්‍රියේ සිට පසුදාට පහන් වන තුරුම ආනන්ද අයියාගේ ලොරි බාගයට පටවා ගත් පෝස්ටර් මිටිය සහ පාප්ප බාල්දි සමග අපි හරි හරියට ඔට්ටු වූයෙමු. ගම්පහ නගරයෙන් ආරම්භ වී නුවර පාර දිගේ නිට්ටඹුවට ගොස් ආපසු පැමිණෙන විට  අලුයම 4 පමණ වී තිබුනි. වර්ෂ අවසානය නිසාදෝ මේ ගමනේදී අධික ශීතලක් දැනුන අතර උඩු කයට ඇදුමක් නැතුව සීතලේ වෙව්ලමින් සිටි ජෝතියා අපට දුන් විනෝදය කිසි දිනක අමතක නොවන්නකි.

අපි වේලාසනම ගහපු පෝස්ටර් ටික බලන්න යමල්ලා. ජෝතියා එලෙස යෝජනා කලේ ටියුෂන් තරගය උපරිමයට තිබෙන ගම්පහ වැනි නගරයක පෝස්ටරයක් බේරා ගැනීම කලු නික සොයනවාටත් වඩා අපහසු කාරියක් බව ඒකා දැන සිටි නිසාය.

ජෝතියා නිවැරදිය. රාත්‍රී 12 ට පමණ අප විසින් අලවන ලද පෝස්ටරය මත පාන්දර 4 වන විට තවත් පෝස්ටර් 3 ක් ඇලවී හමාරය. ගම්පහ නගරයේ පෝස්ටර් කෙලියේ තරම දැන් ඔබට වැටහෙනු ඇත. අපගේ නිරීක්ෂණයට අනුව උසස් පෙළ නව පන්ති ආරම්භ කරන්නට වලිකන ටියුෂන් ගුරෙකුගේ පෝස්ටර් වලින් හිතා මතාම අපේ ප්‍ර‍සංගයේ පෝස්ටර් වැසී ඇති බව පෙනුනි. එතැන් සිට අපි නැවතත් පෝස්ටර් ඇළවීම ආරම්භ කළෙමු.

පාන්දර 5 න් පසු කිසිවෙකුත් පොස්ටර් අලවන්නට ගම්පහට එන්නේ නැත. එහෙයින් අප දැන් අලවන පෝස්ටර් වහන්නට කිසිවෙකු නැත. ටියුෂන් ගුරාගේ සියලුම පෝස්ටර් ප්‍ර‍සංගයේ පෝස්ටරයෙන් වැසී ගියේ කුජීත අන්දමිනි. අඩුම තරමේ පන්තිය පැවැත්වෙන ස්ථානයේවත් ඒකාගේ පෝස්ටරයක් ඉතිරි කරන්නට අපේ උන් කැමති වූයේ නැත. උදෑසන 7 වන විට ගම්පහ නගරයම අපගේ ප්‍ර‍සංගයේ පෝස්ටර් වලින් හැඩ වී තිබූ අතර සීතල හිමිදිරිය අස්සේ පාසල් යන මල් වැනි, වතුර ටැංකිය අසල පාසලේ යුවතියන්..මුලු රැයක් නිදි වරා කබ කඩමින් ආනන්ද අයියාගේ ලොරි තට්ටුවේ පිටුපසට වී සිටි අපට නෙත්කළු දසුනක්ම වූවේය.



මතු සම්බන්ධයි.




මම කාමරේ අරින සිරා කොලුවා.



ප.ලි

මනුෂ්‍යත්වයෙන් පිරිපුන් සැබෑ කලාකරුවෙකු වූ නැසීගිය ජූඩ් අයියා මේ ප්‍ර‍සංගය වෙනුවෙන් ලබා දුන් සහයෝගය සිරා කොලුවාට තවමත් අමතක නැත.

වයිබ්‍රේෂන් ප්‍ර‍සංගයේ හැඩරුව සහ තවත් කථා ඊලග කොටසින්...

Vibration 2003 වූ කලී සිරි ලංකාවේ ශිෂ්‍යභට බටහිර තූර්ය වාදක ඛණ්ඩයක්  ප්‍ර‍සිද්ධ කලාකරුවන් සමග පැවැත්වූ පළමු ප්‍ර‍සංගය වූ අතර එයින් පසු අගනගරයේ පාසල් කීපයක්ම මේ තේමාව යටතේ ප්‍ර‍සංගයන් පවත්වන ලදී.

සිරා කොලුවා හා පුරා කියා මයිනරයක් පැදවූයේ නම් ඒ අපේ මාස්ටර්ගේ මයිනරයයි. මයිනර් කාරයක ඇති ආතොල් එක දන්නේ ඒවා පැදවූ ඇත්තෙක්...ඇත්තියක් පමණකි.


Sunday, October 23, 2016

50 බියුටිෆුල් ස්ටෝන්

කාලය - බෑන්ඩ් ගැහිල්ලෙන් සමුගත් ආසන්න දවසක හැන්දෑවක

ස්ථානය - ගම්පහ ටවුමෙ ඇට්ටේරියා ගහ යට ජයන්ත අය්යගෙ ස්පොට් එක 

අවස්ථාව -  ඉඟුරු දාපු ප්ලේන්ටියක් බොක්කට හලා ගන්න වෙලාවක්


මෙච්චර කාලයක් අව්වට කර උනා...වැස්සට තෙමුනා...ගුරුවරුන්ගෙන්,ගෙදරින් බැණුම් ඇහුවා...දැන් ඉතින් ඒ කෙළියත් ඉවරනෙ බං....ආයෙ ඉතින් බෑන්ඩ් ගහන්න වෙන්නෙ ලබන ආත්මෙදි තමා....ලොකු අයියා සියරැට් එකක් දකුණු අතින් මේසෙට තට්ටු කරන ගමන් අපි දිහා බලාගෙන කිව්වෙ හදිස්සියෙ යමක් මතක් වෙච්ච එකෙක් ගානට. ඉගුරු දාපු ප්ලේන්ටියෙන් ඉහළට ඇදෙන දුමාරයට තවත් ටිකකින් ලොකු අයියගෙ සියරැට් දුමත් එකතු උනා.

මොකෝ කියන්නෙ...කස්ටිය සෙට් වෙලා යමුද ට්‍රිප් එකක්...ප්ලේන්ටියෙ රස්නෙ වැඩිකමට අයිය බඩාගෙ දිව පිච්චුනත් මිනිහා අදහසක් දුන්නෙ එතෙක් වේලා කඩේ ඇතුලෙ තිබුන නිහඩතාවය බිඳිමින්.

අන්න ගින්දර අයිඩියා එක. යමල්ලා යමල්ලා එකෙන්ම යමල්ලා. ලොකු අයියා අයිය බඩාගෙ යෝජනාව සපථ කලේ කඩේ කොල්ලා ලොකු අයියට ගෙනත් දුන්න තේ කෝප්පෙ දිහා ජාගර බැල්මක් හෙලන ගමන්.

කොහෙද යනවා නම් යන්නෙ ලොකු අයියෙ...VP ගොයියා කඩේ ෂෝකේස් එක ඇතුලෙන් පේන කේක් කෑල්ලක් දිහා පෙරේත කමට බැලුවෙ ඒවා ගන්න තරම් අපේ ආර්ථිකය ශක්තිමත් නැති නිසා වෙන්න ඇති.

කොහෙ ගියත් අපි යන්නෙ බොන්නනෙ බං...ඒ හින්දා අඩියක් ගහලා ආතල් එකේ නාගන්න පුලුවන් තැනකට යමල්ලා.

එහෙනං අපි උණවටුන බීච් එකට යමු....බඩ මහත ජපන් චමියාගෙ අදහසට එකෙන්ම ඇන්කෝර් එකක් නැගුනා.

උණ වටුන

ඔය තියෙන්නෙ අදහස්...එක එකා එක එක කෝස්, ජොබ්, ලව් අරවා මේවා පටන් ගන්න කලියෙන් එහෙනං ඔය කියන ගමන යමල්ලා. නැත්තං ආයෙ අල්ලනවා බොරු. ලොකු අයියගෙ උපදෙස් අනුශාසනා මැද අපේ බෑන්ඩ් නඩේ හා හා පුරා කියලා විනෝද චාරිකාවක යෙදෙන්නයි මේ සූජානම.

ජයන්ත අයියගෙ ඇට්ටේරියා ගහ යට ස්පොට් එකේ ගතවුන තවත් සන්ධ්‍යා වරු දෙක තුනකින්, හිස් උන ප්ලේන්ටි කීපයකින්, විසිකරපු සියරැට් කොට දුසිමකට එකහමාරකට විතර පස්සෙ ගමනට දිනයක්...ගමන යන්න වාහනයක් වගේම ගමනට එකතු කරගන්න පිරිස පිළිබඳවත් අවසන් නිගමනයකට එන්න අපි හැමෝටම හැකියාව ලැබුනා. මෙච්චර කාලයක් දුක සැප එකට බෙදාගෙන එක පවුලෙ සහෝදරයො රැළක් වගේ හිටියට අපිට කවදාවත් විනෝද චාරිකාවක් යන්න තරමෙ ඉස්පාසුවක් තිබුනෙ නෑ. බෑන්ඩ් ගැහිල්ල අහවර කරලා පාසලෙනුත් සමු අරගෙන ඉන්න අල්ල පනල්ලෙ විනෝද චාරිකාවක් යන්න කාලය  ඇති පදම්.

අපේ පුංචි අම්මගෙ පුතාගෙ ගෙවල් ලග තියෙන රෝසා බස් කොටේ බුක් කලා. මොකද වෑන් එකකට කස්ටිය වැඩිනෙ. අනික බීලා වැඩිඋන උන් හිටියොත් උන්ටත් ආතොල් එකේ එන්න පුලුවන්නෙ. උදේ කෑම එක ගෙදරින් අරගෙන යමල්ලා. සල්ලිත් හිගයිනෙ තවම...ජොබ් කරන උන් ඉන්නෙත් මමයි අයිය බඩයි VP යයි විතරනෙ. දවල්ට ඔය මොනා මොනා හරි බඩට දාගමු. ආයෙ වෙන කොහෙවත් නැවතිලි නෑ. කෙලින්ම උණවටුනෙ අරිද ? නාන්න සෝටක් එහෙම අරගෙන වරෙල්ලා. ගෙදරින් ගන්න පුලුවන් උපරිම ගාන අරගෙන වරෙල්ලා. මොකද බෝතල් දෙක තුනක් නැතුව සොමියක් නෑනෙ.

ලොකු අයියා අපූරුවට ගමනේ අරමුණු පැහැදිලි කොලා. සිරා කොලුවත් ඉතින් ඒ වෙද්දි නෝ ජොබ් කම්පැණියෙ ප්‍රාදේශීය කළමණාකරුවෙක් විදියට වැඩ කොරාපු එකෙක් නිසා අපේ නිවසින් විවිධ වියදම් වෙනුවෙන් ලබා දුන්න මුදලින් එකතු කරගත්ත සොච්චම් මුදලක් එක්ක ගමන යන්න එකදු පහදු උනේ පුදුමාකාර සතුටකින්.

කාලය වෙනදා වගේම ටික් ටික් හඬින් ගලා ගියා. දවසින් දවස උණවටුන චාරිකාව යන දවස අපිට ලං උනා. අමතර මුදලක් හොයාගන්න පුලුවන් වෙච්ච උන් ගමන යන්න අලුතින් කමිසයක් කලිසමක් මිළදී ගත්තා. කොහොමින් කොහොම ඕන්න අපි ගමන යන දවසත් උදා උනා.

බෑන්ඩ් කෙරුවාව වසර ගානක් කොරාපු එකෙක්ට වෙලාවට වැඩක් කරන්න කියලා අමුතුවෙන් කියලා දෙන්න උවමනා නෑ ආයුබොවන්ඩ. ඒ හින්දම උදැහැනැක්කෙ ලොකු අයියා එන්න කියලා නියම කරපු වෙලාවටම වගේ එකා දෙන්නා බැගින් ආව පිරිස රෝසා බස් එකක් පිරෙන්න තරමට එකතු උනා.

තවමත් හාත්පස කලුවරයි. සති අන්ත දවසක් නිසාම ගම්පහ නගරයේ තවමත් විශාල ජනතාවක් නෑ. මේ වටපිටාව දෙබෑ කරමින් තවත් මොහොතකින් අපි ඉදිරියේ නැවතුනේ  සුදු පාට බඳ මැදින් නිල් පාට ඉරි සටහන් උන රෝසා බස් එකක්. උණවටුන අපිට සමීප කරන්නෙ මේ රෝසා බස් කොටේ.

රෝසා මේ වගෙයි.

චාරිකාවට සහභාගි වෙන්න ඇවිත් උන්නු හැම දෙනාවම සාදරයෙන් පිළිඅරගෙන, නාම ලේඛණය කාරිය ලකුණු කරලා ඔන්න ඉතින් දෙයියන් බුදුන් සිහිකරගෙන උණවටුන චාරිකාව පිටත් උනා.

නිකං මළගෙදරක වගේ යන්න බෑ ඩෝ...කෝ බෑන්ඩ් කාමරයෙන් අරගෙන ආව බඩු ටික. ඔය ටිකත් සෙට් කරගෙන සින්දුවක් කියන ගමන් යමල්ලා. ලොකු අයියා හැමෝටම අණ දුන්නා. 

තවමත් හරියකට අඳුර මැකිලා නැති හුදෙකලා මාර්ගය දිගේ රෝසා කොටේ ඇදෙන්නෙ විවිධාකාරයේ ගීත ගොන්නකුත් දරාගෙන. පැය කීපයක් ගත උනාට පස්සෙ ගාලු පාරෙ මුහුදට යා උන හිස් භූමියක රෝසා ගිමන් හරින්න නතර උනේ අපේ බොකු බඩවැල් උදෑසන ආහාරයෙන් සන්තර්පණය කරගන්න ඉඩක් ලබා දෙමින්. 

පාතරාසයෙන් පස්සෙ ඔන්න ආයෙමත් රෝසා හැටට හැටේ උණවටුන බලා ඇදෙනවා. මෙන්න මේ වෙලාවෙ තමයි බස් රථයෙ ඉදිරියෙ හිටිය ලොකු අයියා තරමක කැප් තොප්පියක් එක එකාට ලං කරමින් බස් එකේ පස්සට ආවෙ.  බෝතල්වලට ආධාර කරපියව්....සියරැට් බොන උන් ඒකටත් කීය කීය හරි දියල්ලා...ලොකු අයියගෙ හඩ රෝසගෙ හඩට ඉහළින් නැගෙනවා.

මේ කියන කාලෙ වෙද්දි සිරා කොලුවා සුරා සූදුවෙන් තොර බෝ පැලයක් වගේ කොලුවෙක්. මේ දහජරා බීම මිනිහා පරිහාණිය කරා අරගෙන යනවා කියලා මගේ අක්මාවටම දැනිලා තිබුන නිසා මම ඒ වෙද්දි අමද්‍යප සංගමයෙ ඉහළ තනතුරක් දරමින් උන්නෙ. ඔයින් මෙයින් මගේ වාරයත් ආවා.

බෝතලේට කීයක් හරි දියං. ලොකු අයියගෙ කැප් තොප්පිය මගේ ඉස්සරහා නතර වෙලා. මයෙ දිහා බලාන උන්නා.

ලොකු අයියෙ මම බොන්නෙ නෑ.

උඹ නොබිව්වා කියලා හරියන්නෙ නෑ බොල බොන උන්ට බොන්න හරි මේකට කීයක් හරි දාහං...

මේ ලෝකය හරිම කුරිරුයි වෙලාවකට...අපි කොච්චර උත්සාහ කලත් යහපත් විදියට ජීවත් වෙන්න පාපමිත්තරයො ඉඩ දෙන්නෙම නෑ. ලොකු අයියගේ වදෙන් බේරෙන්නම බැරි උන තැන අනිත් උන් වගේම මටත් බෝතලයට ආධාර කරන්න සිද්ධ උනා.

කැප් තොප්පියට ආධාරයක් තියන ගමන්ම මම හිතින් හිතාගත්තෙ ලොකු අයියෙ මම උඹට දෙන්නං බැටේ කියලයි.

එකතු උන ආධාර මුදල ගැන ලොකු අයියා සතුටින්. ඔහුගෙ මුහුණෙ තිබුනෙ තෘප්තිමත් සිනා රැල්ල ඒ වගට සාක්ෂි. ගාලු පාරට යාබදව මුහුද පේන, වැඩියමක් නිවාස නොපෙනෙන තැනක රෝසා නතර උනා. ලොකු අයියා එක්ක බස් එකෙන් බැස්ස ජපන් චමියා, අයිය බඩා, කිඩා වගේ උන් තවත් මොහොතකින් බස් එකට නැගුනෙ සියරැට් පැකට් දෙක තුනක්, එවකට කාගෙ කාගෙත් නිළ පානය වෙලා තිබුන සීදුවෙ ගල් බෝතල් කීපයක්, බයිට් එකට අවශ්‍ය කළමනා, ෂැන්ඩියට උවමනා දේවල් සහ ප්ලාස්ටික් කොප්ප දුසිමක් සමගින්. මේ දර්ශනය දැකලා බේබදු කැලගෙ කට කනට ගිය අන්දම මගේ නෙත් වලට සම්මුඛ උනත් නොබොන සිරා කොලුවගෙන් එකතු කිරීමේ වෑයම ගැන මම හිටියෙ බොහොම තරහින්.

ඉර මුදුන් වෙන පැයේදි රෝසා උණවටුන වෙරළ පැත්තට ඇදෙන අතුරු මාර්ගයක මඳ දුරක් ගොහින් නතර උනා. ස්නානයට අවශ්‍ය කළමනා, ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය කළමනා සමග බෝතල් අඩුම කුඩුම ටිකත් හනි හනිකට වෙරළට ප්‍ර‍වාහනය උනා.

හොඳින් ඉර එළිය වැටුන ලස්සන දවසක අසිරිය සිත් පුරා විඳගනිමින් උන්න විදේශික ජෝඩු අප ඉදිරියේම ඔවුනොවුන් සිප ගත්තෙ අපේ කිරි කෝඩු හිත් දූෂණය කරමින්.

ස්නානය පිණිස යොදාගන්න සෝටෙන් සැරසුන බෑන්ඩ් නඩේ උණවටුන වෙරළෙ හෙවන තියෙන තැනක ස්ථාන ගත උනා. බෝතලයක් කඩාගෙන සවුදිය පුරනකම් කාට කාටත් ඉවසිල්ලක් නෑ. බොන්නෙ නෑ කියන අධිෂ්ඨානයෙන් ගෙදරින් ආව සිරා කොලුවගෙ දැහැන බිඳුනෙ ලොකු අයියා කල නොමනා වැඩෙන්. ඒ හින්දම මමත් බොන උන් අතරින් හිඳ ගත්තා.

උඹ බොන්නෙ නෑ කියලා මොත්තෙ දැම්මා නේද ඩෝ....මම දන්නෙ නැද්ද උඹ ගැන. ලොකු අයියා සාටර් හිනාවක් නගාගෙන කාට කාටත් මදි නොකියන්න උවමනා කළමනා බෙදා දුන්නා. මගේ හිතේ තියෙන තරහා මිනිහා දන්න එකක්යැ...දෙන්නං අද මම උඹට දුවන්නම. මගේ හිත මටම කිව්වා.

මඳින් මඳ සීදුවෙ  හතරැස් බෝතල් වල අඩිය පෑදෙද්දි සිරා කොලුවා උන්නෙ ලග නමමින්. මම තොප්පියට දාපු ගානට වඩා ගානක බීලා මගේ පාඩුව අවම කරගන්නවා. මගේ හිත දැන් එක අරමුණක නතර වෙලා.

අවසානයේ සිරා කොලුවට වෙච්ච දේ සිරා කොලුවා දන්නෙත් නෑ. මට මතක වෙරළේ තැනක ඉඳගෙන ගල් බෝතල් හිස් කරමින් උන්නා කියලා විතරයි.

දැන් සිරා කොලුවට ගැස්සෙන මතුපිටක අපහසුවෙන් වැතිරී ඉන්න බවක් දැනෙනවා. මේ කොහෙද ? මම තනිවම කල්පනා කොලා. ඇස් දෙක අරින්න අපහසුයි. ඔලුව බඹර චක්කරයක් ගානට කැරකෙනවා. මුලු ශරීර කූඩුවම තලා දාලා වගෙයි.

මූ මාර බීමක්නෙ බං බීලා තියෙන්නෙ. බලහං කීයටද කට් ඩවුන් උනේ....තාමත් නිදි.

ඌට දවල්ට කන්නත් බැරි උනානෙ...බොක්කෙ තිබ්බ ඔක්කොම උණවටුන වෙරළට හැලුවා.

ඕකා බොන්නෙ නෑ කියද්දි මමමයි තග දාලා ගානක් කපා ගත්තෙ. ඒ තරහට ලග නැමුවද මන්දා...

මොකද ලොකු අයියෙ කරන්නෙ..මූට ගම්පහට යනකම්ම ඇහැරුනේ නැත්තං අපි මොකද කරන්නෙ...

විවිධ කටහඬ මගේ සමීපයෙන්ම ඇහෙනවා...මම තවමත් උත්සාහ කරන්නෙ මම ඉන්නෙ කොහෙද කියලා හඳුනාගන්න. බොඳ වෙච්ච සිනමා රූප වගේ චාරිකාව යන්න පිටත් උන හැටි, රෝසා උණවටුන වෙරළ කිට්ටුව තැනක නතර උන හැටි මගේ සිහියට ආවා. මම අපහසුවෙන් ඇස් දෙක විවෘත කොලා.

ලොකු අයියෙ මෙන්න මූ ඇහැරුනා. ජපන් චමියා බෙරිහන් දුන්නා.

උඹට දැන් කොහොමද මල්ලි..අවුලක් නෑ නේද...උඹට වැඩි වෙලා බීච් එකේම ඩවුන් ගියා. මාර ගේමක් දීලා බස් එකට පටව ගත්තෙ ඇඳගෙන ආපු ඇඳුම් ටික අන්දවලා.

මට තිබහයි...බඩගිනියි. මම බොහොම අසරණ තාලෙට කිව්වා.

ඉඳින් ටිකක් ඉස්සරහා තේ කඩේක නතර කරන්න කියන්නං. ගාලු කොටුවටත් ගිහින් දවල්ට කෑවෙ හැන්දැ වෙලා. අපි තවම උණවටුනෙන් පිටත් උනා විතරයි බං.

තවත් පැය භාගයක පමණ ඇවෑමෙන් වැහැරී ගිය පෙනුමෙන් යුතු දුප්පත් තේ කඩයක් ඉදිරියේ රෝසා නතර උනා. 

බැහැලා වරෙන් මොනා හරි කාලා තේ ටිකක් බීහං...දවල්ට කන්නත් බැරි උනානෙ. ඔන්න ඕකනෙ බං කියන්නෙ තරමට බීහං කියලා...කොහෙද උඹලා බොන්න ගියාම තියෙන අරක්කු ඔක්කොම පෙරේත කමට බොන්න යනවනෙ. ලොකු අයියා තවමත් දෙහි කපයි.

සිරා කොලුවට ඔලුව කෙලින් කරගන්න තවමත් අමාරුයි. ඒත් මොනා හරි බඩට දාගන්න උවමනාව තදට දැනෙන නිසා වැනි වැනී තේ කඩේ ඇතුලට ගියේ බොහොම ආයාසයෙන්. තේ කඩේ මැද පුංචි වීදුරු ෂෝකේස් එකක කෑම වර්ග කීපයක් තිබුනා. ඊට එහායින් බොහොම පැරණි තාලෙ පුංචි ශීතකරණයක් තිබුනා.

මොනා හරි අරගෙන කාහං...ලොකු අයියා ආයෙමත් කිව්වා.

මම අත් දෙකට වර්ග දෙකක් එක සැරේ ගත්තා.

ඔච්චර එක සැරේ කන්න එපා යකෝ...ගෙවන්න සල්ලි නෑ...ලොකු අයියා වැද වැටෙනවා...ඒත් මට තවමත් මිනිහා එක්ක තරහයි. අතට ගත්ත අඩයකුයි ඥාණ කථාවකුයි කාලා අහවර වෙද්දි අනිත් උන් ටික ප්ලේන්ටියක් බොන්න සැට් වෙලා උන්නා.

මොනවද උඹට බොන්න ඕනෙ ? ලොකු අයියා ආයෙමත් ඇහුවා...සිරා කොලුවා ඒ දිනවල ප්‍ර‍සිද්ධ වෙලා තිබුන පැණි බීම ජාතියක නම කිව්වා. කඩේ හිමිකරුවා පුංචි ශීතකරණෙ ඇරලා බීම බෝතලයක් මගේ ඉදිරියෙ තියෙන ගමන් අනිත් උන්ගෙන් ඇහුවෙ මෙයාට වැඩි උනාද කියලයි. 

සිරා කොලුවා බොහොම අමාරුවෙන් කාලා බීලා ආයෙමත් බස් රථයට නගින්න තේ කඩයෙන් එළියට එද්දි ලොකු අයියා තමන්ගෙ පසුම්බියෙ අදුරු මුලු වල තිබ්බ මාරු කාසිත් එකතුකරගෙන කඩේ බිල ගෙවනවා යන්තමින් මතකයි.

දැන් ඔන්න රෝසා ආයෙමත් සැර දාගෙන ගාලු පාර දිගේ ඉදිරියට ඇදෙනවා. අයිය බඩා, ජපන් චමියා, කිඩා, ජෝතියා වගේම ලොකු අයියත් වරින් වර මා එක්ක කථා බහේ යෙදෙනවා.

උඹ නම් මාර යකෙක්...බීලා බීලා වැඩි වෙලා නටපු පිස්සුවක්.

මට මතක නෑනෙ බං...මට මතක වැල්ලට වෙලා අඩියක් ගගහා හිටියා කියලා විතරයිනෙ.

ඒ උඹටනෙ. උඹ ඇදගෙන වැටෙන්න කලින් වැල්ල පුරාම ඇවිද්දා....ඒ වෙද්දි සිංහල සහමුලින්ම අමතක වෙලා ඉංගිරිසි විතරයි පාවිච්චිය. උඹ අන්තිමට වැල්ලට වෙලා අව්ව තපින සුද්දියෙක් ලගට ගියා. ගිය ගමන් බියුටිෆුල් ස්ටෝන් කියලා ඒකිගෙ කකුල අත ගෑවා. ටිකක් දුරින් හිටිය සුද්දිගෙ මිනිහා උඹට නෙලන්න කියලා එතනට එද්දි අපි දහ අතේ ඌට වැදලා උඹව බේරගත්තෙ.

ඊට පස්සෙ තමයි මෙලෝ සිහියක් නැතුව ඇදගෙන වැටුනෙ. අන්තිමට මේ මහ සෙනග බලා ඉද්දිම උඹේ සෝට ගලවලා...අහවල් එකේ වැලි ගසලා බොහොම අමාරුවෙන් ඔය කලිසම ඇන්දුවෙ...දැන් තේරෙනවා නේද උඹ අපිට දුන්න ආතල් එකක තරමක්.

අනේ අම්මේ ආයෙ සැරයක් අපි ට්‍රිප් ගියොත් මම උඹෙන් නම් බොන්න කියලා කීයක් වත් එකතු කරන්නෙ නෑ...ඇත්තමයි සත්තයි. ලොකු අයියා පරාජිත හඬින් එහෙම කියද්දි බමන හිසින් යුතු වූ සිරා කොලුවට ජයග්‍රාහී සතුටක් දැනුනා.




මම කාමරේ අරින සිරා කොලුවා.




ප.ලි

බියුටිෆුල් ස්ටෝන් කථාව ඇත්තටම සිදු වූවක්ද, අනිත් උන් ගොතන ලද කථාවක් දැයි මම තවමත් නොදනිමි. මේ චාරිකාවෙන් පසු කාලයක් යන තුරු උන් බියුටිෆුල් ස්ටෝන් මතක් කරමින් සිරා කොලුවාගේ භෞමික අඛණ්ඩතාව කීතු කීතු කර දැම්මෝය.

බෑන්ඩ් නඩේ ඊලග වසරේද වාර්ෂික චාරිකාව ලෙස උණවටුනටම ගියෝය. පෙර වර්ෂයේ අමිහිරි මතකයත්, එතෙක් විඳිමින් හුන් නව නිංගිරාවත් නිසා මම එවර සැර පානයෙන් වැළකී හොද ළමයා වූයෙමි. පෙර චාරිකාවේ අත්දැකීම් නිසා එවර රෝසා කොටේට ලොකු අයියා විසින් තැඹිලි වල්ලක්ම පැටවූයේ කට් ඩවුන් වන උන්ගේ මතු ප්‍රයෝජනය පිණිසය.


අප කණ්ඩායමේ සිටි අයිය බඩාත්, කෂ්ඨාත් මා වෙනුවට එවර කට් ඩවුන් වූහ. උන් දෙදෙනා එදා අප හට දුන් ආතොල් එකට පිං සිදු වන්නට එයින් ඉදිරියට අපේ වාර්ෂික චාරිකාව මෙන්ම, බියුටිෆුල් ස්ටෝන් කථාවටද තිත තැබිනි.

ජයන්ත අයියාගේ ඇට්ටේරියා ගහ යට ස්පොට් එක වර්තමානයේ එතැන නැත. අද එතැන රාජ්‍ය බැංකුවක ශාඛාවක් ඇත.


සෑහෙන කාලයකට පසු බෑන්ඩ් කථාවක් ලීවෙමි. අතීතයේ දිනෙක මෙන් විවේකය නොමැති නිසා දැන් දැන් සිරාගේ කාමරය තුල ලිපියක් පල වන්නට ගත වන කාලය ඉතාම ඉහළ ගොස් තිබේ. එය හැකි තරම් අඩු කරගන්නට හැකි සෑම විටම උත්සාහ ගනිමි.

Thursday, September 29, 2016

45 ම‍ගෙ 8000 ට කෙළියා ඕයි !

පර්චස් 20 ට වැඩි ඉඩම් තියෙන, ඒවයෙ පොල් ගසුත් තියෙන අයට ආණ්ඩුවෙන් පොල් පොහොර සහනාධාරයක් දෙනවලු. ග්‍රාම සේවක නෝනා ලග අන්න පෝරම කොල තියෙනවලු. ගොහින් කොළයක් ගෙනල්ලා තියන්ඩ. මම ආපහු ආවම පෝරමේ පුරවලා උවමනා තැන් වලට ඉදිරිපත් කරලා පෝර ටික ගන්න සූජානම් කොරන්නං. පේනවනෙ...දැන් ගස් වල පොල් එන්න එන්නම පොඩි වෙනවා. ඵලදාව මේ විදියට අඩු වෙන්නෙ පොහොර හිඟ හින්දා...මතකනෙ එහෙනං...

සිරා කොලුවගෙ පිය තුමා මෑණියන් දෑ සමග දඹදිව වන්දනාවෙ යන්න ගුවන් තොටුපලට පිටත් වෙන්න ඔන්න මෙන්න කියලා පවසපු මේ වදන් පෙළ මට ආයෙමත් කම්පනාවට ආවෙ ඒ අය එහෙ ගොහින් සතියක් ගත උනාට පස්සෙ. බැරි වෙලාවත් පෝරම කොල අහවර වෙලා තිබුනොත් මෙතන වසන්න වෙන්නෙ නැති නිසාම මමත් තකහනියක් ග්‍රාම සේවක නෝනා බැහැ දකින්න යන්න උදැහැනැක්කෙම පිටත් උනා.

සිරා කොලුවා රට පැටවෙන කාලෙ අපිට හිටිය ග්‍රාමසේවක නෝනා බොහොම වයසක උන්දෙක්. කොහොමින් කොහොම සිරා කොලුවා ආයෙමත් සියරට එන කාලෙ වෙද්දි ඒ උන්දැ විශ්‍රාම ගිහින් ඒ වෙනුවට අපේ ගම් තුලානෙ ග්‍රාම සේවක රාජකාරිය බාර අරගෙන හිටියෙ යාබද ප්‍රදේශයක පදිංචි සීදේවි නෝනෙක්.

නෝනෙක් කිව්වට ඉතිං සිරා කොලුවටත් වඩා වයසින් අඩු...තවම අවිවාහක කෙලියක්. මගුල් මුද්ද දාන ඇගිල්ලට යාබද ඇගිල්ලෙ තමයි එයා මුද්දක් දාලා හිටියෙ. ඒ දර්ශනෙන් පස්සෙ මගේ අක්මාවට දැනුනා මේ කෙලී තවම කසාද බැදලත් නැති විත්තිය.

කාරණේ මතක නැතත් සිරා කොලුවට ලංකාවට ආ විගස වගේ යම් රාජකාරියකට ග්‍රාම සේවක නෝනව මුණ ගැහෙන්න යන්න උනා. එදා තමයි ඔන්න නමෝවිත්තියෙන් අපේ අභිනව ග්‍රාමසේවක නෝනව මගේ කලු ඉංගිරියාවට වැටුනෙ. අපරාදෙ කියන්න බෑ. සී දේවි කෙල්ල. සාරියක් කාරිය ඇදලා හරිම පිළිවෙලට, නීතියට වැඩේ කරගෙන ඉන්නවා. යන එන කා එක්කත් සුහදයි. ඒ වගේද අත් අකුරු මුතු කැට වගේ බබලනවා. ඉතින් මට රාජකාරිය අහවර උනත් එතනම පදිංචි වෙලා ඉන්න හිතුනා.

ඔන්න ඔහොම වටපිටාවක් තියෙද්දි පොල් පෝර පෝරමේ ගේන්න යන්න ඉතින් මොනවටද බොලව් පැකිලෙන්නෙ. සිරාගෙ ඇන්ටික් ස්කූටරේට බර දීලා කොලුවා ගියා ඔන්න ග්‍රාමසේවක නෝනව මුලිච්චි වෙන්න.

අපේ නැසීගිය උස බන්දුල ගොයියගෙ ගෙදර තමයි ග්‍රාමසේවක කාර්යාලය පිහිටුවාගෙන තිබුනෙ. මම එතැනට ලගා වෙද්දිත් ග්‍රාම සේවක නෝනගෙ කාමරේ කීප දෙනෙක්ම ඉන්න විත්තිය මට දැනුන නිසා ස්කූටරේ පිටට නැගලා බන්දුල ගොයියගෙ වත්තෙ ඵලදාව දිහා මම ඇස් දෙකේ පොට යනකං බලාන උන්නෙ කොරන්න වෙන කෙං ගෙඩියක් තිබුනෙ නැති නිසයි.

විනාඩි 15 ක් 20 ක් ගත වෙන්න ඇති. ග්‍රාමසේවක කාර්යාලයේ දොරෙන් එක පාරටම මතු උනේ මාලු විකුණන නිශාන්ත ගොයියා. බොලේ මේ හාදයා අද මාලු වෙළදාමෙ ගිහින් නැත්තෙ මොකද...මම මනෝ ආතල් ලොවක සැරි සරද්දි මටත් නොදැනිම නිෂාන්තයා මගේ ලග.

පින්තූරය මෙතැනින්

මොකෝ මේ පැත්තෙ...ඇරත් මේ උදේම....එච්චරයි මට අහන්න ලැබුනෙ.

මගෙ 8000 කට කෙලියා ඕයි ! නිෂාන්තයා හෙණ ගැහුවා වගේ එකපාරටම කිව්වා.

මොකක්ද බොල ඒ හරුපෙ...උඹ බූරු ගහන්නවත් ගොහින් පැරදුනාද ? මම එහෙම ඇහුවෙ සැක සංකා හිතේ තියාන ඉන්න හොද නැති හන්දයි.

නෑ බං මල්ලියෙ අද උදේ මාලු ගේන්න මීගමු යද්දි මාව කොල්ල කෑවා බං ඒකල වෙළ මැද්දෙදි.

ගම්පහ - ජාඇල 201 බස් මාර්ගයෙ යන එන ඇත්තො දන්නවා ඒකල වෙල කියන්නෙ මාර්ගය දෙපැත්තෙම වෙල් යායක් තියෙන නිවාස වලින් තොර හුදෙකලා පෙදෙසක් කියලා. අන්න එතැනදි තමයි මේ අසරණයගෙ 8000 ට කවුරු හරි කාලකණ්නියෙක් කෙළියෙ.

එ්කළ වෙල කිව්වම අපි කුඩා සන්ධියෙ නිතරම කොල්ල කෑම් සිද්ධ උනා. මේ හොරකම් වලට රැයක් දවාලක් තිබුනෙ නෑ. මහ දවාලෙ වැඩිපුරම සුද්ද උනේ මාලු වෙළඳාමේ නිරත වෙච්ච අය. මේ වගේ හොරකම් දිගින් දිගටම සිදුවෙන්න ගත්තට පස්සෙ සිරිලංකා පොලෝසියෙ ඇත්තො ගත්ත යම් යම් සාධනීය පියවර නිසා හොරු රැළ වඳවෙලා ගිහින් ඒකළ වෙල මැද්දෑව බොහොම සාමකාමී තැනක් බවට පත් උනා.

ඒත් දැනට වසර තුන හතරක ඉඳලා ආයෙමත් කොල්ලකෑම් එක දෙක බැගින් වාර්තා වෙන්න ගත්තා. සිරා කොලුවගෙ පියතුමාගෙ හිතවතෙක් වෙන ඕල්ටර්නේටර් තිස්ස මාමා තමන්ගෙ ඇඹේනියත් එක්ක බයිසිකල් කටුවක නැගලා ගොහින් බැංකුවෙන් ගත්ත රුපියල් ලක්ෂ 9 ක් එක්ක ගෙදර එද්දි, ඒකල වෙල හරියෙදි පිටිපස්සෙන් ආව වෑන් රථයක් මේ ජෝඩුව මහා මාර්ගය වෙනුවට අලුතින් වපුරපු කුඹුරක් වෙත යොමු කලා. බයිසිකලේ පෙරළගෙන මඩ අස්සෙ එරිලා දගලන තිස්ස ගොයියා ලගටම ආව හොරු රැළ රුපියල් ලක්ෂ 8 ක් දාලා තිබුන බ්‍ර‍වුන් පේපර් කවරෙ අරගෙන ගියෙ ඒ අසරණයට කෝචොක් හිනාවකුත් දාගෙන, උඩ සාක්කුවෙ තිබ්බ ලක්ෂය විතරක් ඉතිරි කරලා.

මම වෙනදා යන වෙලාවට පාන්දර 4.30 ට ගෙදරින් පිටත් උනා. රුපියල් 8000 ට ටිකක් වැඩියෙන් සල්ලි තිබුනා. ඒකල වෙල මැද්දෙ පුලුන් ගහ කිට්ටුවට යද්දි මට විරුද්ධ පැත්තට බයික් එකක කොල්ලො දෙන්නෙක් ආවා. උන් මාව පහුවෙද්දි මගේ දිහා හරි අමුතු විදියට බලාන ගිය නිසා මට සැකයක් හිතුනා.

මම පැති කණ්නාඩියෙන් බලාගෙන ඉස්සරහට යද්දි, හදිස්සියෙ දැක්කා උන්ගෙ බයිසිකලේ මගේ පැත්තට හරවනවා. එතැනින් පස්සෙ මම යන්න තියෙන උපරිම වේගෙන් බයිසිකලේ පැද්දා. ඒත් වැඩක් උනේ නෑ. උන්ගෙ තිබුනෙ බොහොම බල සම්පන්න බයික් එකක්. උන් අඩියට දෙකට මගේ ලගට ආවා. එන පොට හොඳ නෑ කියලා මට දැනුන නිසා මම බයික් එක නතර කරලා බැහැලා දුවන්නයි හැදුවෙ. එත් පරක්කුයි මල්ලියෙ. හොඳ උස මහත එකෙක් පැනපු ගමන් මගෙ බෙල්ලට කඩුවක් තියලා කුණුහබ්බයක් කියලා මගෙ පර්ස් එක උදුරලා ගත්තා. 

මාලු ගන්න තිබ්බ සල්ලියි. අපේ පොඩි කෙල්ලගෙ ඉස්කෝලටෙ උවමනා පොත් කීපයක් ගන්න උවමනා සල්ලියි ඔක්කොම තිබුනෙ එකට. උන් සල්ලි උදුරගෙන යද්දි මම පිංසෙන්ඩු උනා මගේ ලැයිසොමවත් දීලා යන්න කියලා. ඒත් ඒ නරුමයො ඒ කථාවට ඇහුම් කං දුන්නෙම නෑ

නිශාන්තයගෙ මුහුණෙන් තවමත් කම්පනයක සළකුණු පේනවා. ඇස් කෙවෙනි අග පුංචි කඳුලක් දිලිසෙනවා. දරු පැටව් 4 දෙනෙකුගෙ තාත්තා කෙනෙක් විදියට මාලු රස්සාවෙන් හොයන සල්ලියෙන් ජීවත් වෙන කෙනෙක්ට රුපියල් 8000 ක් නැති වෙනවා කියන්නෙ මොන තරම් පාඩුවක්ද ?

අද උදේම පොලෝසියට ගිහින් පැමිණිල්ලක් දැම්මා. ග්‍රාමසේවක නෝනගෙන් අරගෙන යන්න ලියකියවිලි වගයක් තියෙනවා. ඒ ටික ගන්න තමයි මෙහෙට ආවෙ. මට වාවන්නෙ නෑ බං පොඩි කෙල්ල අලුත් පොත් අරගෙන ඉස්කෝලෙ යන්න හරි ආශාවෙන් හිටියෙ.

ඒ අවසරයෙන් ග්‍රාම සේවක නෝනගෙ ඔපීසියෙන් එළියට ආවෙ නිෂාන්ත ගොයියගෙ ඇඹේනිය. 

හෙණ ගහලත් මදි නේද මල්ලි මේ කරන අපරාද වලට ? ඇය මගෙන් ඇහුවා.

ඔය හරියෙදිම සති දෙකකට කලියෙනුත් මාලු කාරයෙක්ව සුද්ද කරලා. උන් හිතාන ඇත්තෙ මාලු විකුනන්නෙ කෝටිපතියො කියලා වෙන්න ඇති. ඇයි යකෝ පොඩි මිනිහටමනෙ මංකොල්ලා කන උනුත් කෙළින්නෙ.

ඇගේ කථාව ආවේගශීලියි. පුංචි එකෙක් වඩාගෙන නිෂාන්ත තවමත් සුසුම් හෙලනවා.

කඩුව බෙල්ලට තියද්දි මට හොඳටම භය හිතුනා මල්ලි. මම යටි ගිරියෙන් කෑ ගැහුවා. මට දරු පැටව්, ගෑණි මතක් උනා. ඒත් උදව්වට කියලා කවුරුවත් ආවෙ නෑ. උන් දෙන්නා ගිහින් විනාඩි 10 කට විතර පස්සෙ තමයි සෙනඟ එකා දෙන්නා එන්න පටන් ගත්තෙ. ඒ වෙද්දි ඉතින් වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයි.

තවත් මොහොතකින් නිශාන්ත ගොයියා තමන්ට අවශ්‍ය ලියකියවිලි සම්පූර්ණ කරගෙන ග්‍රාමසේවක කාර්යාලයෙන් පිටත් උනා.

පව් නේද අර මනුස්සයට වෙලා තියෙන වැඩේ...දැන් ඊලග දවසෙ මාලු ගේන්න යන්න අමුතුවෙන් සල්ලි හොයන්න එපායැ. ඇරත් ඒ අය සල්ලි  ඔහේ අරගෙන යනවා මිසක ආරක්ෂාව ගැන හිතන්නෙ නෑනෙ. මම ඒත් දැන් කිව්වෙ මීට පස්සෙ මාලු වෙළදාමෙ යද්දි සල්ලි අතේ අරගෙන යන්නෙ නැතුව. මීගමුවට ගිහින් බැංකු කාඩ් එකෙන් උවමනා ප්‍ර‍මාණය ගන්න, මාලු විකුනලා අහවර උනාම ආයෙමත් බැංකුවට දාන්න කියලා. ග්‍රාම සේවක දැරිවි එහෙම කිව්වා.

පොල් පොහොර පෝරමේ අරගෙන ගෙදර ආවා කියමුකො. පිට පළාතකින් ඇවිත් දවල් කාලයේ අපේ ගමේ මාලු විකුණන තවත් ගොයියෙක් මට අතර මගදි සම්මුඛ උනා.

අර නිශාන්ත ගොයියගෙ 8000 කට ඇරලා දෙන්නෙක් අද පාන්දරම මාලු ගෙන්න යද්දි.

ආ මිනිහද කෙනා...අපිට මීගමුවට ආරංචිය ආවා වෙච්ච වැඩේ ගැන. ඔයාට කියන්න මල්ලි දැන් මාස දෙකකට විතර කලියෙන් මාවත් කොල්ල කන්න ආවනෙ දෙන්නෙක් මහ දවාලෙ.

මම එදා මාලු බයිසිකලේ නවත්තලා පොඩියක් අකුලක් අස්සට රිංගුවා මුත්තරා බරෙන් නිදහස් වෙන්න. මම එතැනින් ආයෙමත් බයිසිකලේ ලගට එද්දි  එතන දෙන්නෙක් හිටියා.

මල්ලි...ඉස්සො ඉන්නවද ? උන් එහෙම ඇහුවා. මම ඉන්නවා කිව්වා.


ලොකු උන්ද පොඩි උන්ද ?

ලොකු උන්

කීයද ගාන

කිලෝ එකක් 1000 යි.

මෙහෙම කථාව යද්දි කථාවට සම්බන්ධ නැති අනිත් එකා බයික් එක උඩ ඉදන් 

මචං ඉක්මන් කරපං....  ඔහොම කියනවා.

මම මාලු පෙට්ටිය ඇරලා මාලු පෙන්නුවා. ඉස්සො ගන්න හදපු මිනිහා මගෙන් අහනවා 5000 ක් මාරු කරන්න නැද්ද කියලා. මගෙ ලග මාරු කරන්න සල්ලි තිබ්බත් මම නෑ කියලා පොඩි සල්ලි විතරක් තියාන ඉන්න පර්ස් එක අැරලා පෙන්නුවා.

වැඩක් නෑ මචං...ඉක්මනට යං කියලා තමයි අන්තිමට මිනිහා ගිහින් බයිසිකලේට නැග්ගෙ. ඔන්න ඔහොමයි මල්ලි තත්වෙ. මාලු පෙට්ටියක් බැදගෙන යනවා දැක්කම අපිවම කොල්ල කන්න ටාගට් කරන උන් ටිකක් වෙනමම ඉන්නවා. මම මහ පාන්දර මාලු ගෙන්න යන්නෙත් නෑ...ගේන්න ගියත් තව වෙළෙන්දො දෙතුන් දෙනෙක් එක්ක යන්නෙ. එතකොට කොල්ල කන්න ආවොත් මාලු මන්න පාරක් හරි දෙන්න පුලුවන් මකබෑවිලාම පල කියලා.

ගන්න අක්කෙ පණ පිටින් ජීලාවො..පන්සීය 360 යි. මිනිහා මාලු බිස්නස් එකකට ඇන්ටර් වෙද්දි සිරා කොලුවා නිවස බලා ආවා.

අමාරුවෙන් ජීවිතය ගැට ගහගන්න වෙර දරන මේ වගේ මිනිහෙක් කොල්ල කනවා කියන්නෙ කොල්ල කන එකා මොන වගේ මානසික මට්ටමක එකෙක්ද ? මට හිතාගන්න බැරි උනා.

සමහරු මළගෙවල් හොයාගෙන ගිහින් බූරු ගහලා අම්බානක පැරදිලා පාන්දර පාරට බැස්සම හිතේ කේන්තියට අහුවෙන එකාව කොල්ල කනවා. එහෙමත් නැත්තං ඉතිං කුඩ්ඩෙක් තමයි පුතේ.

ගෑණි මැරිච්ච දා ඉදන් හන්දියෙ පිලට තනි රකින පියදාස මාමා එහෙම කිව්වෙ බුලත් කෙල තළියක් පාර පුරා රටා අඳිද්දි.





මම කාමරේ අරින සිරා කොලුවා.


Tuesday, September 20, 2016

44 උපුල් විලේදී මනුස්සකමේ සුවඳ විඳ ගත්තෙමි.

තවත් මඳ දුරක් ගියාට පස්සෙ ලොකු හාමුදුරුවො බස් රථය එක් තැනක නවතන ලෙස සංඥා කලා. මාර්ගයට යාබද කැළෑවෙ කණින ලද වලක් අළුතින් පස් යොදා වසා ඇති බවක් දකින්න ලැබුනා. අපේ කණ්ඩායම ඒ දෙස කුතුහලයෙන් යුතුව බලා සිටියා.

1 කොටසට

අද එතැන් සිට.....

ලොකු හාමුදුරුවො අත දික් කර පෙන්වූ ඉසව්වට බස් රථයේ හැමෝගෙම නෙත් යොමු උනා. ඔතන ඔය අලුතින් වහලා දාලා තියෙන පස් යට මහා සද්දන්තයෙක් ගමේ අය මිහිදන් කලා. දල ඇතෙක්. ගමේ අයට එයාව මුලිච්චි වෙනකොට කාලෙකට කලින් වෙඩි වැදුන තුවාල උඩුදුවලා බොහොම අසාධ්‍ය වෙලා හිටියෙ. වනජීවී එකටත් කියලා ගමේ අය ඇතාට හෙවනක් හදා දීලා, කෑම බීම ආදියෙනුත් සෑහෙන්න උදව් පදව් කලා. ඒත් තුවාල වල තිබුන බරපතල කම නිසාම බේරගන්න බැරි උනා. ඒ සතා අන්තිම හුස්ම හෙලන්න කලියෙන් අපේ පන්සලේ හාමුදුරුවො කීප දෙනෙක් එක්ක එතනට වැඩම කරලා පිරිත් සජ්ජායනා කරන්නත් අපිට හැකි උනා. මරණය සිද්ධ වෙලා වළ දාන වෙලාවෙ ඒ සත්වයට පාංශකූලය දීලා පින් පෙත් අනුමෝදන් කරන්නත් ගමේ අය එකතු පහදු උනා. මේ ගම් වල මිනිස්සුන්ට මොන තරම් අලියාගෙන් කරදර තිබුනත් සතෙක් කදරයක වැටුනාම ඒ හැමදේම අමතක කරලා උදව් කරන්නෙ.

අපේ බස් රථය ආයෙමත් ගමන් ආරම්භ කරලා තාර කැඩුන හුදෙකලා මාර්ගය දිගේ ඉදිරියට ඇදෙනවා. ලග ලග නිවාස නැති මේ ඉසව්වෙ  අතරින් පතර තමයි ගෙයක් දෙකක් දකින්න ලැබුනෙ. මාර්ගය දෙපැත්තෙම තිබුනෙ විශාල කුඹුරු යායක්. අපි එහි සංචාරය කල කාලයේ තමයි ඒවායෙ අස්වැන්න නෙලමින් තිබුනෙ.

මාර්ගයට පෙනෙන කුඹුරු යාය

තාර කැඩුන මාර්ගය තවත් නොබෝ වේලාවකින් ගුරු පාරක් බවට පත් උනා. කාලෙකින් අහස් දිය වැටිලා නැති නිසාම මතුවෙන දූවිල්ල කපාගෙන බස් රථය ඉදිරියට ඇදෙනවා. ඒ දිහා ගමේ මිනිස්සු දෑස් අයාගෙන බලා ඉන්නවා. දැන් අපි උපුල් විල රජමහා විහාරය කිට්ටුවටම ඇවිල්ලා.

ගුරු පාර දිගේ තරමක් මග ගෙවූ අපේ නඩේ ඔන්න රජමහා විහාරයෙ දොරටුව අසලටම ඇවිල්ලා නතර උනා. අපට කලින් මෙතනට වැඩම කරලා තිබුන කඳුරු වැවේ පුන්න හිමියන් එහි කටයුතු සියල්ල මැනවින් සංවිධානය කර තිබුනා. ඒ වෙද්දිත් දහම් පාසලේ පුංචි දරු පැටව් ඒ අයට ආධාර දෙන්න කිලෝමීටර් 200 කට වැඩි දුරක ඉදන් පැමිණි ආච්චිලා සීයලා, නැන්දලා මාමලා, අයියලා අක්කලා පිළිගන්න පුංචි ළමා සාරියකින්, පුංචි සරමකින් සැරසිලා පෙර මග බලාන උන්නා.



ආධාර කණ්ඩායම කප්රුක් කොඩිය යටින් විහාරයට ඇතුලුවෙද්දි අවට කලාපයම සාධු නදින් රැව් පිළිරැව් දුන්නෙ ගම්වාසීන් බොහෝ පිරිසකුත් මේ සත්කාර්යය දෑසින් දැකගන්න ඒ ස්ථානයට ඒ වෙද්දිත් රැස් වී තිබූ හින්දයි.


කප්රුක් පූජාවෙ වැඩකටයුතු අහවර උනාට පස්සෙ මේ පොඩි ඇත්තො තමන්ගෙ අතේ එතෙක් වෙලා හිරකරගෙන තිබුන සුදු නෙළුම පිළිගන්නලා අපේ කණ්ඩායමේ හැමෝම තමන්ගෙ දහම් පාසල වෙනුවෙන් සාදරයෙන් පිළිඅරගෙන උත්සව සභාව වෙත කැන්දගෙන ගියෙ තමන්ගෙ ගුරුවරුන්ගෙ මගපෙන්වීම යටතේ.

උපුල්විල රජමහා විහාරයෙ ඇත්තො කුඩා වේදිකාවක් සහිත කදිම උත්සව සභාවක් තමන්ගෙ ශක්තියේ ප්‍ර‍මාණයට ඒ වෙද්දි එහි තනා තිබුනා. සියල්ලන්ම පංච ශීලයේ පිහිටුවා උත්සවේ වැඩකටයුතු ආරම්භ කලේ උපුල්විල රජමහා විහාරස්ථානයේ නායක හිමියන් විසින්.


මේ සත්කාර්යයේදි උපුල්විල විහාර පාර්ශවය වෙනුවෙන් සංවිධාන කටයුතු වල බර කරට ගත්ත කඳුරු වැවේ පුන්න හාමුදුරුවො තමන්ගෙ පිළිගැනීමේ කථාව ඇතුලෙදි උපුල්විල වැනි දුරබැහැර පෙදෙසක, මේ දහම්පාසලේ දරුවො මුහුණදෙන ගැටලු අඩුපාඩු ගැන සිදුකල විවරණය ඉතාම සංවේදියි. මට එතැනදිත් කල්පනා උනේ මෙවැනි පිරිසකට මේ අයුරින් ආධාර දෙන්නට සහභාගි වන්නට ලැබුන මේ අවස්ථාව මොන තරම් වටිනා එකක්ද යනුවෙන්.

කඳුරු වැවේ පුන්න හිමියන්

නායක හිමිවරුන් තිදෙනා උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින්.

මාකේවිට තරුණ සංගමයේ සභාපති තුමා
මාකේවිට තරුණ සංගමය වෙනුවෙන් එහි අනුශාසක තෝරපිටියේ ආනන්ද ස්වාමීන් වහන්සේ පැවැත්වූ කෙටි අනුශාසනාවකින් පස්සෙ ත්‍යාග බෙදාදීම ඇරඹුනා. එතෙක් වේලා ඉතාම උනන්දුවෙන් මේ සත් කාර්යය දෙස ආශා දෑසින් බලා සිටි කුඩා දරු දැරියන්ගෙ වගේම එයාලගෙ දෙමාපියන්ගෙත් නෙත් අගට සතුටු කඳුලු පිරුනෙ සතුට වැඩිකමට වෙන්න ඇති.

 තෝරපිටියේ ආනන්ද හිමි

මොනතරම් බාධක තිබුනත් ඒවා මැඩගෙන දිනපතාම දහම්පාසලට පැමිණි දූ දරුවන් දිරිමත් කරන්න පැමිණීමෙන් ඉදිරියෙන් සිටි අයට මුලින්ම ත්‍යාග ලබා දුන්නා. එයින් අනතුරුව වසරින් වසර ත්‍යාග ප්‍ර‍දානය ඇරඹෙද්දි කුඩා දරු දැරියන් ඉතාම උද්යෝගයෙන් තමන්ට හිමි ත්‍යාග ලබාගන්නට ඉදිරියට ආවා. ඒ අය වයසින් පොඩි උනාට කලබලයක් නැතුව තමන්ගෙ අවස්ථාව එළඹෙන තෙක් ඉවසීමෙන් සිටි ආකාරය ඉතාම කදිමයි.

අපිටත් තෑගි ලැබේවිද ?



දරුදැරියන්ගෙ ත්‍යාග අතරට අලංකාර පොත් බෑගයක්, අතිරේක කියවීම් පොත්, අභ්‍යාස පොත්, දහම් පාසල් එන්නට උවමනා ඇඳුම් සකසා ගන්නට අවශ්‍ය රෙදි, පෑන් පැන්සල් ඇතුලත් පැන්සල් පෙට්ටියක්, DSI පාවහන් ලබා ගන්නට හැකි තෑගි වවුචරයක් වැනි දෑ අයත් උනා.

මේ දරුවන්ගෙ නැණස පාදන්නට නොයෙක් කරදර බාධක මැද්දෙ කැපවෙලා කටයුතු කරන ගුරු භවතුන් හටත් ඒ අයගෙ සේවය අගය කරලා ත්‍යාග ලබා දෙන්න අපි පසුබට උනේ නෑ. මේ සියලු දේට අමතරව එතෙක් මේ දහම් පාසලට අඩුවක් වෙලා තිබුන කාර්යාලයක් වගේම එයට අවශ්‍ය වෙනත් උපකරණත් තරුණ බෞද්ධ සංගමය විසින් ලබා දුන්නා. කාලෙකට කලියෙන් හේලීස් ආයතනයෙන් උපුල්විල ගමට පිරිසිදු පානීය ජලය ලබාගත හැකි විශාල පිරිපහදු යන්ත්‍ර‍යක් පරිත්‍යාග කොට තිබුනත් ඒ ජලය නිසි පරිදි ගබඩා කරගන්නට උපුල් විල රජමහා විහාරයට පහසුකම් තිබුනෙ නෑ. ඒ සඳහා උවමනා පානීය ජල ටැංකි දෙකකුත් මෙහිදී ප්‍ර‍ධානය උනා.


මේ සියලු කටයුතු අතරෙ උත්සව භූමියේ ඉදිවෙලා තිබුන පුංචි වේදිකාව උඩ මේ පුංචි ඇත්තො විවිධ ප්‍රාසාංගික අංග ඉදිරිපත් කලා. ඒ අයට තියෙන සීමිත පහසුකම් එක්ක ඒ දක්ෂතා ඉතාම ඉහළ බවයි අපේ කණ්ඩායමේ හැමෝගෙම පාහෙ අදහස උනේ.




උපුල්විල ගම්මානය හරිම අව්‍යාජයි කියලා මට දැනුනෙ එහි ගම්වැසියන්ගෙ අල්පේච්ච ජීවන රටාව නිසාම නෙමෙයි. ඒ ඇත්තන් අප වෙනුවෙන් පිළියෙල කර තිබූ සංග්‍ර‍හයන් පවා ඔවුන්ගේ ශක්තිය අනුව පිළියෙල වී තිබීම නිසයි. ආධාර කණ්ඩායමේ හැමෝගෙම පිපාසය නිවන්නට ඔවුන් විසින් පිළි්යෙල කර තිබුනේ දෙහි යුෂ පානයක්. ඊට අමතරව උපුල්විල ගම්මානයට ආවේණික නාරං කැවුම් වලට සමාන ගැඹුරු තෙලේ බදින ලද පොල් බෝලත්, පෑන් කේක් වලට සමාන වෙල්ල වැහුම් නැමති ආහාරයත් තිබුනා. මේ ආහාර දෙවර්ගයම ඉතාම ප්‍ර‍ණීත බව නොකියාම බෑ.


තෝරපිටියේ ආනන්ද හිමියන්ගේ අනුග්‍ර‍හයෙන් දරුවන්ට ලැබුන සංග්‍ර‍හයන්

ත්‍යාග බෙදාදීලා අහවර උනාම ආයෙමත් පරංගියාවාඩිය පන්සලට පැමිණිලා දිවා ආහාරය සකසා ගන්නයි අපේ අරමුණ වෙලා තිබුනෙ. ඒත් තමන්ගෙ ගමට ආධාර දෙන්න පිට පළාතකින් පැමිණි ඇත්තන් දිවා ආහාරයෙන් සංග්‍ර‍හ නොකොට සමුදීම තමන්ට මදිකමක් කියලා හිතුන නිසාදෝ ගමේ සම්පත් උපයෝගී කරගෙන ඉතාම රසවත් දිවා ආහාරයක් ඒ ඇත්තන් සූජානම් කොට තිබුනා. නෙළුම් කොලේ බත් ටිකක් කන්න ලැබෙන්නෙ ඉඳලා හිටලා නොවැ. ඉතින් කවුද අකමැති වැව් මාලු ටිකක්, නෙළුම් අල ටිකක් එක්ක බත් ඩිංගක් කන්න. ඉතින් ඒ අවස්ථාව අපිට උදා උනා.  සිරා කොලුවා මීට කලියෙන් කවදාවත් රස විදලා නැති, කුරහන් තලප, නෙළුම් බට්ටො වගේම සියඹලා කිරිහොද්දත් මේ කෑම වේලෙදි රස බලන්න ලැබුනා. උපුල්විල ගමේ අම්මලාගෙ අත් ගුණය ගැන නම් කියන්න වදන් නෑ. අපේ දිවා ආහාරය ඒ තරම් රසවත්.


නෙළුම් කොලේ බත් සමග මනුස්සකමත් බෙදූ උපුල්විල දහම් පාසලේ ගුරු මණ්ඩලය
 නෙළුම් බට්ටො ගැන අපේ පළාත් වල බොහෝ දෙනෙක් දන්නෙ නෑ. ඒ නිසා ඒ පිළිබඳ කෙටි හැඳින්වීමක් කල යුතුයි. වැවක නෙළුම් මලක් පිපිලා අහවර උනාම කෝන් එකක් වගේ ඉතිරි වෙන කොටස තුල නෙළුම් බීජ අඩංගු වෙනවා. මේ කොටස හොඳින් මෝරා අහවර උනාට පස්සෙ ඒ තුලින් ලබාගන්න නෙළුම් බීජ තම්බා ආහාරයට ගන්න පුලුවන්. අන්න ඒවා තමයි නෙළුම් බට්ටො.



දිවා ආහාරයෙන් පස්සෙ උපුල්විල රජමහා විහාරයේ දහම් පාසල් ගුරුවරියක් ලෙස සේවය කරන පරාංගියා වාඩිය විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනිය සන්ධ්‍යා කුමාරි මහත්මිය සමග කෙටි කථාබහක නිරත වෙන්න සිරා කොලුවට අවස්ථාවක් ලැබුනා. මේ තියෙන්නෙ එතුමියගෙ අදහස්.

සන්ධ්‍යා කුමාරි මහත්මිය
පරංගියාවාඩිය කියන්නෙ ත්‍ර‍ස්තවාදී තර්ජන නිසා සෑහෙන්න බැටකෑව ගමක්. අපේ ගමට යාබද ගම වතාවක් සම්පූර්ණයෙන්ම ත්‍ර‍ස්තවාදියො විසින් ගිණිබත් කලා. මේ මොන තර්ජන තිබුනත් පරංගියා වාඩිය ගමේ මිනිස්සු පාසලත් පන්සලත් රැකගෙන ගොවිතැනින් ජීවිකාව කරගෙන හරිම අමාරුවෙන් ජීවත් උනා.

මහ වැහි වැටිලා යාන් ඔය ගැලුවොත් මිනිස්සුන්ගෙ වගා බිම් සියල්ල පාළු වෙනවා. තවත් කාලෙකට හබරණ පැත්තෙන් පැමිණෙන අලි ගම් වදිනවා. මේ කොයි විදියට බැලුවත් පරංගියාවාඩිය ගමේ මිනිස්සුන්ට තියෙන ගැටලු වල නම් නිමක් නෑ. ගොවිතැනින් ජීවිකාව රැකගන්න මේ ගමේ බහුතරයකට තමන්ගෙ දූ දරුවන්ගෙ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කරන්න මහ සල්ලියක් නෑ. ඇරත් මේ තියෙන ගැටලු එක්ක ඒ ඇත්තන්ට ගමෙන් පිටවෙලා රස්සාවක් කරන්නත් බෑ. තමන්ගෙ පවුලෙ ආරක්ෂාව ගැන බැලිය යුතු හින්දා.

පරංගියා වාඩිය පාසලේ දූ දරුවො 265 ක් විතර ඉන්නවා. 1 වසරෙ ඉදන් 11 වසර දක්වා තමයි පන්ති පැවැත්වෙන්නෙ. ගිය අවුරුද්දෙ සාමාන්‍ය පෙළ ප්‍ර‍තිඵල 100%. ඒ දරුවොම තමයි උපුල්විල පන්සලේ දහම් පාසලේදි ආයෙමත් අපිට මුණ ගැහෙන්නෙ. පරංගියාවාඩිය පාසලේ ගොඩනැගිලි සහ ගුරුවරුන් ප්‍ර‍මාණවත්, නමුත් අපිට තියෙන ගැටලුව තමයි අපේ දරුවන්ට නව තාක්ෂණය එක්ක ගැටෙන්න තියෙන අවස්ථා ඉතාම සීමිත වීම. වතාවක් එල්ලාවල මේධානන්ද හාමුදුරුවො පාසලට පරිගණක 10 ක් පරිත්‍යාග කලා. ඒත් අද වෙද්දි ඒ බොහොමයක් ක්‍රියා කරන්නෙ නෑ

පිටපළාත් වලින් ඇවිල්ලා ඉන්න ගුරුවරු බහුතරයක් මේ පාසලේ වැඩ කරන්නෙ. ඒ හැමෝම මේ දරුවන්ට තමන්ට පුලුවන් උපරිමයෙන් උගන්වලා ඒ අයගෙ අනාගතය අදට වඩා යහපත් එකක් කරන්න උත්සාහ කරන්නෙ මේ දරුවන්ට මේ තියෙන ගැටලු වලින් මිදිලා යහපත් ජීවිතයක් ගත කරන්න තියෙන එකම මාර්ගය අධ්‍යාපනය නිසයි. සමහර වෙලාවට ගුරුවරු ප්‍ර‍ශ්න පත්‍ර‍ අතින් ලියලා හොරොව්පතාන ටවුමට අරගෙන ගිහින් ඡායා පිටපත් ගහගෙන ඇවිත් මේ දරුවන්ට විභාග වලට පිළිතුරු සපයන්න ඒවා ලබාදෙන්නෙ.

ඒත් ගමේ ගොඩාක් දරුවො සාමාන්‍ය පෙළ දක්වා අමාරුවෙන් පාසල් ඇවිල්ලා එතනින් නතර වෙනවා. සමහරු නගරයේ රස්සාවකට යනවා. විශේෂයෙන් ගෑණු දරුවො ඉක්මනින් කසාද බඳිනවා. නැත්තං ගාමන්ට් එකක හරි රස්සාවක් හොයා ගන්නවා. තමන්ගෙ පවුල් වල තියෙන ආර්ථික තත්වය එක්ක ඒ අයට අකමැත්තෙන් හරි  ඒ දේවල් කරන්න වෙලා තියෙනවා. එතනින් එහාට ඉගෙන ගෙන විශ්ව විද්‍යාලයට යන අතලොස්සකුත් අපේ ගමේ ඉන්නවා.

දහම් පාසල් ගොඩනැගිල්ල ඈතින් පෙනෙන ආකාරය

උපුල්විල දහම් පාසල යුද්ධය පැවතුන සමයේ ඉඳන්ම ගම්වාසීන් එකතුවෙලා බොහොම අමාරුවෙන් පවත්වාගෙන ආවෙ. දහම්පාසලට කියලා ස්ථිර ගොඩනැගිල්ලක් ඉඳි උනේ 2015 දි World Vision ආයතනයේ අනුග්‍ර‍හයෙන්. ඒ ගොඩනැගිල්ලෙ පන්ති පවත්වන්න උවමනා කරන ඩෙස් බංකු හැදුවෙ මේ දරුවන්ගෙ දෙමාපියො. අපේ දරුවන්ට පිරිසිදු පානීය ජලය ලබාදෙන්න හේලීස් ආයතනය උදව් කලා. ඒත් පොහොය දිනට සිල් ගන්න එන ඇත්තන්ට ප්‍ර‍මාණවත් ඉඩ පහසුකම් නැති හන්දා එදාට මේ පන්ති කාමරේ එයාලට දීලා දහම් පාසල නිවාඩු දෙන්න සිද්ධ වෙනවා.

දහම් පාසලට තියෙන එකම වැසිකිළිය දැන් ගොඩාක් අබලන්. ඒ නිසා අලුතින් වැසිකිළියක් දෙකක් ඉඳි කරගන්න හැකි නම් බොහොම වටින වැඩක්. පන්සලට බුදු පිළිමයක් තිබුනෙ නැති නිසා ටික කාලෙකට කලින් තරුණ සංවිධානයක් බුදු පිළිමයක් හදන ව්‍යාපෘතියක් පටන් ගත්තා. නමුත් ඒ අයට මේ වෙද්දි මුදල් හිගකමක් තියෙන නිසා ඒ කාර්යය දැන් අතර මග නැවතිලා. කවුරු හරි සුපින්වතෙක් හෝ සංවිධානයක් ඒ බුදුපිළිමයේ වැඩ අහවර කරගන්න උදව් කරනවා නම් දහම් පාසලට එන පුංචි දරු දැරියන්ට බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුක්තව බුද්ධ වන්දනාවේ යෙදෙන්න පහසු වේවි.

තවමත් වැඩ අහවර නොවූ බුදු පිළිමය

තමන්ගෙ ගම, තමන් සේවය කරන වටපිටාව ගැන සන්ධ්‍යා කුමාරි ගුරුතුමිය දීර්ඝ විග්‍ර‍හයක යෙදුනා. ඇයත් දියණියන් දෙදෙනෙකුගේ මවක්. ඇගේ බාලම දියණිය ත්‍යාග ප්‍ර‍දානෝත්සවයෙදි නැටුම් අංග ඉදිරිපත් කරන්නත් දායක උනා.

ත්‍යාග ප්‍ර‍දානෝත්සවයෙ වැඩ අහවර උනාට පස්සෙ අපි ආයෙමත් තිරප්පන්කඩවල රජමහා විහාරයට ඇවිත් නෙළුම් වැවේ දියවරින් දාහය නිවාගෙන ආයෙමත් ගම රට බලා එන්න පිටත් උනේ මතු දවසක මේ වැනි යහපත් කාරියකට දායක වීමේ ආශාව සිතේ තද කරගෙන. දින දෙකක කාලයක් තුල මා සමග බොහෝ සේ හිතවත් උන පුංචි ස්වාමීන් වහන්සේලා දෙනමක් මගේ අත් දෙකේ එල්ලිලා.


ආයෙමත් කවදද අපිව බලන්න එන්නෙ ?

ඉක්මනින්ම....මම උත්තර දුන්නා.

ඉක්මනින්ම කිව්වෙ ?

හාමුදුරුවො අදට වඩා ලොකු හාමුදුරු කෙනෙක් වෙච්ච දවසට මම ආයෙමත් එන්නං.

ඔය ඇත්තමද...පුංචි ස්වාමීන් වහන්සේ හීන් හිනාවක් නැගුවා.

මෙන්න මේක අධ්‍යාපන වැඩ වලට යොදාගන්න. පුංචි මුදලක් ඒ පුංචි අත්වල තනි කලාම උන් වහන්සේලා ඒ වත්කම දෝතින්ම ග්‍ර‍හණය කරගත්තා. සමහර විටෙක මේ සල්ලි පවුලෙ අගහිගකම් නැති කරගන්න යොදවාවි. ඔවුන්ගෙන් සමුගන්න අවස්ථාවෙදි මට එහෙම හිතුනා.


පසු සටහන


උපුල්විල රජමහා විහාරයේ ත්‍යාග ප්‍ර‍දානෝත්සවය පුරාම ඒ කටයුතු මැනවින් මෙහෙයවමින් නිවේදන කටයුතු වලින් දායකත්වය දුන්නෙ බොහොම පියකරු දැරියක්. කිසිම ගුරුහරුකමක් නැතුව ජන්මයෙන් තුරුලුකරගත්ත හැකියාව මේ යැයි කියමින් ඇය ඉතාම ව්‍යක්ත ලෙස භාෂාව හැසිරුවා. ඒ වගේම පුංචි වේදිකාව පුරාම ඇවිදිමින් වෘත්තීය මට්ටමේ සන්නිවේදකයෙකුගේ හැඩතලා පෙන්වූවා. සමහර වෙලාවට තමන් ආමන්ත්‍ර‍ණය කරන වචන වල අර්ථය ඇගේ මුහුණේ හැගීම් වලින් නරඹන්නන්ට දකින්න ලැබුනා

මේ කෙල්ල නම් හරිම දක්ෂයි. කවුරු හරි මේ දේවල් හරියට කියා දුන්නොත් හොඳ තැනකට යයි.  ඒත් ගමේ මල් ගමේම පරවෙලා යන්න සිද්ධ වෙන එකනං අපරාදයක්. අපි එක්ක ගිය සමහරු එහෙම කිව්වා.

කාගේත් සිත් දිනාගත් උපුල්විල පුංචි සමනලිය

දහම්පාසලේ තමන්ගෙ සහෝදර සහෝදරියන්ට තෑගි ගන්න එන්න කියලා නම් අඩගැහුවට මේ දියණියට තෑග්ගක් ගන්න එන්න කියලා කිසිවෙක් ආරාධනය කලේ නෑ.

ඔයාට තෑගි නැද්ද. මම ඇගෙන් ඇහුවා.

මට පැමිණීමට ලැබෙන තෑගි ලැබෙන්නෙ නෑ. මගෙ පැමිණීම අඩුයි මේ අවුරුද්දෙ. ඇය මයික්‍රපෝනය අතේ තද කරගෙන මන්දස්මිතියක් නැගුවා. සන්ධ්‍යා කුමාරි මහත්මිය හරහා මම දැරිවියගෙ මව්තුමිය මුණ ගැහුනා. ඇගේ කථාව බොහොම සංවේදියි.

දුවගෙ තාත්තා ලංගම බස් එලෙව්වා. ඇක්සිඩන්ට් එකක් වෙලා දැන් ඉනෙන් පහළ පණ නැතිව ගෙදර ඉන්නෙ. මම කුලී වැඩකට යන්නෙ නැති දවස් වලට එයාව බලාගන්න පුලුවන්. ඒත් මම ගෙයින් එළියට යනවා නම් මේ දුව තමයි තාත්තව බලාගන්නෙ. එදාට ඉතින් දහම්පාසල් එන්න ලැබෙන්නෙ නෑ. මගේ ලොකු දුව පේරාදෙණිය සරසවියෙ ඉගෙන ගන්නෙ. එයත් බොහොම අමාරුවෙන් එතැන  අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. කුලියක් මලියක් කරලා අපිට යමක් දෙන්න කෙනෙක් නැති නිසා මට හැකි විදියට මේ දුවලගෙ ඒ අවශ්‍යතා සම්පූර්ණ කරනවා.

ඇගේ ඇස් අග කදුලක් මෝදු වෙනවා මම යන්තමින් දැක්කා. හිස් අහස විතරයි දහම් පාසලට ඉහළින් තිබුනෙ. ඉරට මුවාවෙන්නට වලාකුලකුදු නැති කාෂ්ඨක රස්නෙ යට මේ මිනිසුන්ගෙ ජීවිත මොන තරම් වියලිලා ඉරිතලා ගිහින්ද ? මම තනිව කල්පනා කලා.

තරුණ සංගමයෙ විශේෂ ඉල්ලීමක් අනුව මේ දියණියට පැමිණීමට ලබාදෙන ත්‍යාගය ලබා දුන්නා.

ඔබතුමන්ලා නැත්තං මට මේ තෑග්ග අද ලැබෙන්නෙ නෑ. ලස්සන රෝස පාට බෑගය අත ගාමින් ඇය අපිට කිව්වා.

ඔයා කැමතිද කොළඹ යන්න. නිවේදන කලාව ගැන ඉගෙන ගන්න. රූපවාහිනී නාලිකා වල වැඩසටහන් වලට සහභාගි වෙන්න.

මම නම් කැමතියි. ඇය සුදුවැලි මත මාපට ඇගිල්ලෙන් හාරමින් හොරැහින් අපි දිහා බැලුවා.

ඒත් තාත්තා බලාගන්න හිටියම කොහෙවත් යන්න විදියක් නෑ. ඇරත් කොළඹ වගේ දුරකට මාව එක්කගෙන එන්න කෙනෙකුත් නෑ.

දුවේ...ගැටලු බාධක හැමෝටම තියෙනවා. ඒවා පන්නරයක් කරගෙන හොඳට ඉගෙන ගන්න. මේ මහත්තුරු හැකි විදියට උදව් කරාවි. සන්ධ්‍යා මහත්මිය ඇගේ හිස අතගාමින් එහෙම කිව්වා.

දහසක් දුක් කම්කටොළු මැද්දෙන් හිනාවෙන්න වෙර දරන මේ මල් කැකුලට තමන්ගෙ අනාගතය ජයගන්න තවත් බොහෝ දුරක් යා යුතුයි. ඉතින් ඒ දුර අවම කරලා දෙන්න මේ ලිපිය කියවන ඔබට හැකියි. කැමති නම් උපකාර කරන්න ඔවුන්ගේ දුප්පත් දහම් පාසලට, කැමති නම් උපකාර කරන්න බාගෙට වැඩ නිමවුන බුදු පිළිමයේ කටයුතු නිම කරන්න, කැමති නම් උදව් කරන්න මේ දියණියගෙ අනාගතයට, කඳුරුවැවේ පුන්න හාමුදුරුවො අවශ්‍ය සම්බන්ධීකරණය ඔබ වෙනුවෙන් සිදුකරාවි.

කඳුරුවැවේ පුන්න හිමි - 071 611 8062



මම කාමරේ අරින සිරා කොලුවා.



ප.ලි

හොරොව්පතාන පැත්තෙන් ඔබ කොහේ හෝ සංචාරයක යනවා නම් තිරප්පන්කඩවල විහාරස්ථානයට ගොඩ වදින්න අමතක කරන්න එපා. විහාරස්ථානයට හැරෙන ස්ථානයේම සිවිල් ආරක්ෂක කඳවුරකුත් තියෙනවා. මේ පන්සලේ පුංචි හාමුදුරුවො පන්සලට අමුත්තො එනවට හරිම මනාපයි. ඒ අය බැහැදැකලා, සුදු නෙළුමින් විකසිත උන තිරප්පන් කඩවල වැවේ සිහිල විඳගෙන ඔබට ආපසු එන්නට හැකියි.

සිරා කොලුවාගේ අවිවේකය නිසා මෙම ලිපිය සිරාගේ කාමරය තුල පලවන්නේ සිතුවාට වඩා බොහෝ ප්‍ර‍මාදයකිනි. ඒ පිළිබඳ මගේ කණගාටුව.
Related Posts Plugin for WordPress, Blogger...