Tuesday, August 30, 2016

58 පරංගියාවාඩියට තෑගි දෙන්නට ගියෙමි.

පරංගියාවාඩිය....ඔබ සමහරක් විටක කවදාවත් අහලා නැති නාමයක් වෙන්න ඇති. නමුත් මේ අපේ රටේ තවත් ග්‍රාමයක නමක්. සිරා කොලුවත් ඉස් ඉස්සෙල්ලාම මේ නම ඇහුවෙ හරියටම ගිය මාසෙ දවසක. පොසොන් බත් දන්සැල පවත්වන මාකේවිට තරුණ  සංගමයෙ සභාපති තුමා තමයි පරංගියාවාඩිය ගැන මට හා පුරා කියා කියලා දුන්නෙ. අනුරාධපුරයේ සිට ත්‍රිකුණාමලය මාර්ගයේ හොරොව්පතාන නගරයට ලඟා වෙලා අළුත් ඔය මාර්ගයේ කිලෝමීටර් 8 ක පමණ දුරක් පැමිණීමෙන් පරංගියාවාඩියට පැමිණෙන්න පුලුවන්.

පුතා...අපි පරංගියාවාඩිය කියලා දුෂ්කර ගමක දහම් පාසලකට උපකාර කරන්න ලෑස්ති වෙනවා මේ අවුරුද්දෙ දන්සැල් සමිතියෙ ප්‍ර‍ජා සත්කාරය විදියට. අපි එක්ක එකතුවෙනවද ? ඔහු ඇහුවෙ එහෙමයි. කවදත් හොඳ දේකට පෙරටම යන පුරුද්ද තවමත් මා ලග තියෙන නිසා මමත් ඒ වැඩසටහනට එකතු උනේ දෙවරක් හිතන්නෙ නැතුව.

වර්තමානයේ පරංගියාවාඩිය කියලා හැඳින්වූවාට අතීතයේ මේ ග්‍රාමය හඳුන්වලා තියෙන්නෙ උපුල්විල කියන නාමයෙන්. ගමේ ඉතිහාසය අනුරාධපුර යුගයේ රජකම් කල කූටිකණ්න තිස්ස හෙවත් මකලන්තිස්ස රජතුමාගෙ රාජ්‍ය සමය දක්වාම දිව යනවා. ලංකා ඉතිහාසයේ රජකමට පත් පළමු කාන්තාව වන අනුලා බිසව මරා දමා මේ රජතුමා රාජ්‍යත්වයට පත්වන්නේ බුද්ධ වර්ෂ 500 දී පමණ. අනුලා බිසව අතෘප්තිකර කාම පිපාසාවෙන් පෙළුණු තැනැත්තියක බවත්, තමාගේ පහසට ලොල් වූවන් රජකමට පත් කරමින්, වරින් වර ඔවුන් මරා දමමින්, රටවැසියන්ගේ ද්වේෂයට ලක් වී සිටි තැනැත්තියක් බවත් ලංකා ඉතිහාසයේ සටහන් වෙනවා. මකලන්තිස්ස රජතුමා වර්ෂ 22 ක් ඉතාම මැනවින් රට පාලනය කොට, වෙහෙර විහාර තනවමින්, වාරිමාර්ග දියුණු කිරීමට දායක වූ රජකෙනෙක්. මහවැලි ගංගාව ආශ්‍රිතව මුලින්ම වාරිමාර්ග කර්මාන්තයක් ඇරඹූ රජු ලෙසත් ඔහුගේ නම ඉතිහාස ගතවී තිබෙනවා.

මේ රජතුමා වැව් කර්මාන්තයට සුදුසු ස්ථානයක් සොයමින් සිටි කාලයේ, මේ පෙදෙසේ කඳු දෙකක් හරහා ගලන ජලයෙන් නිර්මාණය වූ මානෙල් මලින් සුසැදි මනස්කාන්ත විලක් දුටු බවත්, පසුව ඒ කඳු ද්විත්වය යා කර වේල්ලක් ඉඳිකරවා, ජනතාව පදිංචි කරවා ඔවුන් වෙනුවෙන් විහාරයක්ද තැනවූ බවත් සඳහන් වෙනවා. මේ වැව උපුල් විල වැව ලෙසත්, විහාරය උපුල් විල රජමහා විහාරය ලෙසත් වර්තමානයේද හැඳින්වෙනවා.

ඉස්සර දවසක උපුල්විල යනුවෙන් හඳුන්වපු මේ ගම්මානය වර්තමානයේ හැඳින්වෙන්නෙ පරංගියා වාඩිය යනුවෙන්. ත්‍රීකුණාමලය වරාය පැත්තෙන් රට තුලට පැමිණි පෘතුග්‍රීසි හමුදා කණ්ඩායමක් මේ ගමේ දින කීපයක් කඳවුරු බැඳ තිබීම ඒ නාමය යෙදෙන්නට ආසන්න හේතුවයි. නමුත් ගමේ වැඩිහිටියො පරංගියා වාඩිය කියන නමට එතරම් කැමැත්තක් නෑ. ඔවුන් කැමති උපුල්විල කියන නාමයට. පරංගියා වාඩියේ සිට ත්‍රිකුණාමලයට තියෙන්නෙ කිලෝමීටර් 40 කට මඳක් වැඩි දුරක්. මේ ගමට මායිම්ව සේරුනෑව, බණ්ඩාරකුඹුක් වැව ආදී ගම් පිහිටා තියෙනවා. මේ ගම්මාන ත්‍ර‍ස්තවාදී තර්ජන පැවති සමයේ එයින් දැඩිලෙස බැට කෑ ගම්මාන බවත් කිව යුතුයි. පරංගියාවාඩියෙ ඉතිහාසය ඔන්න ඔහොමයි.

සෑහෙන අතීතයක ඉඳන් නොයෙක් අපහසුතා මැද පවත්වාගෙන එන උපුල්විල රජමහා විහාරයේ දහම් පාසලේ දරුවන්ට අපිට හැකි විදියට යමක් කරමු කියලා මුලින්ම යෝජනා කලේ දන්සැල් කමිටුවෙ ප්‍ර‍ධාන අනුශාසක තෝරපිටියේ ආනන්ද නායක හිමියන් විසින්. අවශේෂ සාමාජිකයන්ගේ ශ්‍ර‍ම සහ ආර්ථික දායකත්වයන් මතින් ඒ සිතුවිල්ල යථාර්තයක් කරගන්න අවසානයේදි උන්වහන්සේට හැකි උනා. දන්සැල් සමිතියේ සභාපති වරයා සංවිධායකයින්, වගේම සාමාජික සාමාජිකාවනුත් මේ උතුම් කර්තව්‍ය වෙනුවෙන් දිවා රෑ වෙහෙසුන වගත් කිව යුතුමයි.

දරුවන් 150 දෙනෙකු වෙනුවෙන් සූදානම් කල තෑගි භෝග අතරට අධ්‍යාපන උපකරණ, අභ්‍යාස පොත්, අතිරේක කියවීම් පොත්, වගේම, දහම් පාසල් පැමිණීම සඳහා අවශ්‍ය ඇඳුම් සකසා ගැනීමට උවමනා කරන සුදු රෙදි පවා ඇතුලත් උනා. මේ සියල්ලම අගනා පාසල් බෑගයක බහා අපි ඔවුනට ලබා දුන්නේ DSI ආයතනයෙන් පාවහන් ලබාගැනීමට හැකි තෑගි වවුචරයක්ද සමගින්. එම ආයතනය අප වෙත විශාල වට්ටමක් ලබා දුන්නේ මේ සත්කාර්යය ඔවුනුත් එක හිතින් අනුමත කල නිසාම විය යුතුයි.


පසුගිය සෙනසුරාදා හිමිදිරියේම මේ සියලු දෑ රැගත් අපේ බස් රථය අනුරාධපුරයට ලඟා වෙලා අටමස්ථාන වන්දනාවෙන් පස්සෙ එදින රාත්තිරියෙ අපේ නවාතැන වෙච්ච තිරප්පන්කඩවල රජමහා විහාරයට ලගා උනේ ඇඳිරි වැටෙන්න ඔන්න මෙන්න කියා තියෙද්දි.

අටමස්ථාන වන්දනාව අතරතුර අභය ගිරියේදී සිරා කොලුවාට කෝපිකඩේ සිරා මුලිච්චි වීම.
ඔහුත් අසදෘෂ පිංකමකට දායක වී සිටියා.

මේ විහාරයේ නායක හිමි, අනුරාධපුර දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී අලුවිහාරේ විමලරතන නා හිමියන් අප එහි යන විට වැඩ සිටියේ නෑ. නමුත් ‍උන් වහන්සේගේ ගෝලබාලයන් වන කුඩා හිමිවරුන් රැසක් අප පිළිගන්න පෙරමගට පැමිණියා. කසාවතින් සැරසුන මේ කුඩා හිමිවරුන්ගේ දසුන අප කාටත් සංවේදී දසුනක් උනා. ගනනින් 30 කට ආසන්න හිමිවරුන් පිරිසක් තිරප්පන්කඩවල රජමහා විහාරයේ වැඩ වසනවා.

පන්සලේ වැඩ සිටින කුඩා හිමිවරුන්ගේ නාන තොටුපල

දන්සැල් කමිටුවේ අනුශාසක හිමියන් මාස ගනනාවකට කලියෙන් තිරප්පන් කඩවල රජ මහා විහාරයේ විහාරාධිපති විමලරතන හිමියන්ගෙන්, තමන්ට ආධාර කිරීමට දහම් පාසලක් සොයාදෙන ලෙස ඉල්ලීම් කොට තිබුනා. ආර්ථික තත්වයෙන් උපුල් විලට වඩා යහපත් තැනක තිබෙන තම දහම් පාසලට මේ ආධාර ලබාගැනීමට උත්සුක නොවූ සැබෑ යථිවරයානන් කෙනෙකු වන විමලරතන හිමියන් ඒ ආධාර උපුල්විල විහාරස්ථානයේ දහම් පාසල වෙත ලබාදීමට උවමනා සම්බන්ධීකරණය සිදු කලා.

හිමිදිරියේම නිවෙස්වලින් පිටත්ව සිටි ආධාර නඩේ සියල්ලන්ටම හොඳටම මහන්සියි. ඒ නිසා හැකි ඉක්මනින් ඇගපත හෝදගෙන මඳක් ගිමන් නිවාගන්න අපි හැමෝටම උවමනා උනා. මේ අවස්ථාවේ අපගේ සහායට පැමිණි කුඩා හිමිවරුන් විහාරයට ආසන්නයේ පිහිටා තිබෙන තිරප්පන්කඩවල වැව වෙත අප රැගෙන ගියේ අඳුර වැටෙන්නට මොහොතකට කලියෙන්. අපගේ ආගමනය මේ හිමිවරුන් වඩ වඩාත් සතුටට පත් කොට තිබුනා. ඉතාම කුඩා වයසේ කෙළිදෙලෙන් පසුවන මේ හිමිවරුන් වෙත අපේ නඩයේ සිටි මව්වරුන්ගේ අවධානය වැඩි වැඩියෙන් ලැබුනේ මව්කමේ අසිරිය නිසාම වෙන්න ඇති.

තිරප්පන්කඩවල වැවේ වැව් කණ්ඩිය මතට පැමිණි වහාම අපිට දක්නට ලැබුනෙ ඉතාම මනස්කාන්ත දර්ශනයක්. සුදු නෙළුම් මුළු වැවම ආක්‍ර‍මණය කරලා. සිහින් සුළගට නෙළුම් පත්, නෙළුම් පොහොට්ටු වගේම පිබිදිලා ඉන්න සුදු නෙළුම් මල් නැළවුනෙත් අපිව පිළිගන්න වාගෙයි.

අඳුරට මුසුවෙන තිරප්පන්කඩවල වැව


පුංචි හාමුදුරුවරු අපට ඇති තරම් දිය කෙළියට ඉඩ දී වැව් කණ්ඩිය ආසන්නයේ රැදුනා.

හාමුදුරුවනේ...මේ වැවේ කිඹුල්ලු නැද්ද ? අපේ කණ්ඩායමේ කෙනෙකු ගැටලුවක් නැගුවා.

මොකද නැත්තෙ 4 දෙනෙක් ඉන්නවා.

එතකොට මේ වැවේ නාන්නෙ කොහොමද භය නැතුව.

පේනවනෙ වටේටම තියෙන නෙළුම් පදුරු ගොඩ...කිඹුලට යටින් එන්න අමාරුයි ඔය පඳුරු නිසා. ඒත් උන් සමහර වෙලාවට නාන හරියටම එනවා. උන් එහෙ මෙහෙ යද්දි නෙළුම් කොල  හයියෙන් හෙළවෙන නිසා අඳුනගන්න ලේසියි. හැබැයි කවදාවත් ගමේ කෙනෙකුට උන් හානියක් කරලා නෑ.

ගිමන් නිවිලා, අපේ විඩාව සන්සිදුවාගෙන දිය කෙළිය අහවර වෙද්දි අවට පරිසරය කෑලි කපන තරමට කලුවර වෙලා තිබුනා. බැහැරක වැඩම කරලා හිටිය ලොකු හාමුදුරුවො ඒ අල්ල පනල්ලෙ විහාරයට නැවත වැඩම කරලා තිබුනා. උන් වහන්සේ විසින් ඉතාම ලෙංගතුව අපි සියල්ලන්ම පිළිගත්තා.

පිරිසක් රාත්‍රී ආහාරය සකස් කරද්දි තවත් පිරිසක් නායක හිමියන් සමග ආගමික කටයුතු වලට දායක උනා. හෙට උදේම මේ පන්සලේ සංඝයා වහන්සේලාට  දානෙ පිළියෙල කරලා උදේ 9.30 වෙද්දි උපුල්විලට යන්න ඕනෙ. දන්සැල් කමිටුවේ සභාපති තුමා කාට කාටත් ඇහෙන්න හෙට දින වැඩසටහන ගැන දැනුවත් කලා.

පුංචි හිමිවරුන් විශාල ප්‍ර‍මාණයක් වැඩ වසන නිසා ඒ අය භුක්ති විඳින්නට කැමති ආහාර පානත් උදෑසන දාන වේලට ඇතුලත් කරන්න සංවිධායකයින් වේලාසනම තීරණය කර තිබුනා. ඒ අනුව වඩේ, සැන්ඩ්විචස්, රෝල්ස්, මැකරෝනි, ආප්ප, පැටිස් වැනි දෑ උන්වහන්සේලා වෙනුවෙන් පසුදා හිමිදිරියේ පටන්ම සකස් කිරීම ආරම්භ උනා.

උදෑසන 6 කණිසම වෙද්දි නින්දෙන් පිබිදුන පුංචි ස්වාමීන් වහන්සේලා දානය සකස් කරන ස්ථානය වටා රැස් උනා. සමහර කෙනෙකුට ආප්ප උයන්න උවමනා උනා. තවත් කෙනෙක්ට ආප්ප හැන්දෙන් ගලවන්න උවමනා උනා. කෙළිදෙලෙන් ගත කරන වයසෙදිම කසා වතක් පොරවගන්න උනේ ගිහි ගේ ගැන කළකිරීම නිසාම නෙමෙයි කියලා අපි හැමෝම දන්නවා. ඒ නිසාම ඒ කෙළිකවට වලට අපේ වැඩිහිටියොත් ඉඩ දුන්නා.

ඊළග පෝයට මමත් හාමුදුරු කෙනෙක්

ආප්ප ගලවන්නෙ මෙහෙමයි මාමෙ.

දානය සූදානම් වෙන අතරතුර ඒ පිළිබඳ සොයා බලමින් අපේ කණ්ඩායමට සහාය උනේ විහාරාධිපති හිමියන්ට පස්සෙ පන්සලේ කටයුතු සොයාබලන කඳුරුවැවේ පුන්න හාමුදුරුවො. ඉතාම තරුණ වයසේ සිටින උන් වහන්සේ ඉතාම නිවුන ස්වරයෙන් තමන්ගේ පැවිදි ජීවිතය, තිරප්පන්කඩවල ජන ජීවිතය, යුද්ධය පැවති සමයේ විඳි දුක් ගැහැට, දින ගනන් කැළෑවේ රැය පහන් කල අයුරු අප සමග කථා බහ කලා. මගේ ගුරු හාමුදුරුවොම තමයි පන්සලේ ලොකු හාමුදුරුවොත්, උන් වහන්සෙ තාත්තා කෙනෙක් වගේ මේ හැම පොඩි හාමුදුරු කෙනෙක්ම බොහොම වගකීමෙන් ආදරයෙන් රැකබලා ගන්නවා. තමන්ට පුංචි දෙයක්, කෑමක් බීමක් ලැබුනත් හැමෝටම සම සේ බෙදා දීලා තමයි උන් වහන්සේ වළඳන්නෙ. මගේ මහණ ජීවිතයෙ මම දැක්ක උතුම්ම ගතිගුණ තියෙන හාමුදුරුවො තමයි මගේ ගුරු හාමුදුරුවො. පුන්න හාමුදුරුවො හැගීම්බරව කිව්වා.

අද දවසෙ අපි ආධාර ලබා දෙන්නට සුදානම් වෙන උපුල්විල විහාරයේ දහම්පාසලේ කටයුතු කැපවීමෙන් කරගෙන යන්නට දැනුම් තේරුම් තියෙන තරුණ හිමි නමක් ඒ පන්සලේ වැඩ වසන්නේ නැති නිසාම ඒ වගකීම් පුන්න හිමියන් වෙත පවරා තිබුනෙ තමන්ගෙ ගුරු හාමුදුරුවො වන අළුවිහාරේ විමලරතන හිමියන්ගෙ කැමැත්ත අනුවයි.

පුන්න පන්සලේ නැති උනාම මටත් ගොඩාක් පාඩුයි. මේ පුංචි හාමුදුරුවරු වගේම පන්සලේ කටයුතුත් බලාන ඉන්නෙ උන් වහන්සෙ. එහෙම කියලා උපුල්විල දහම් පාසලේ දරුවන්ගෙ අධ්‍යාපන කටයුතු මග නවතින්න දෙන්න බෑ. පුන්න හිමියො එතනට සම්බන්ධ වෙලා තවම මාස 5යි. ඒ මාස 5 ට ලොකු දියුණුවක් එතැන ඇති වෙලා තියෙනවා. විමලරතන හිමියන්ගෙ අදහස් එහෙමයි.

උදෑසන 8 කණිසම වදිනකොට අපේ දානය සැකසිලා අහවරයි. මේ දාන වේලෙ තියෙන විවිධත්වය වගේම රසවත් ආහාර පාන දුටු ඊලග පොහෝ දින මහණ වෙන්නට නියමිතව ඉන්න පුංචි දරුවෙක්, අද නම් බඩ පැලෙන්නම කනවා යනුවෙන් පැවසුවාම එය හාස්‍යයට කාරණයක් ලෙස අපට දැනුනෙ නෑ. නිතර අනුභව කරන්න නොලැබෙන කෑම ජාති දැක්කම බඩ පැලෙනකං ඒවා කන්න කාටද නොහිතෙන්නෙ. දානයට පෙර බුද්ධ පූජාව පැවැත්වුනේ දන්සැල් කමිටුවේ අනුශාසක තෝරපිටියේ ආනන්ද හිමියන්ගේ මූලිකත්වයෙන්.

බුද්ධ පූජාව පවත්වන නායක හිමිවරුන් දෙදෙනා.

ලොකු හාමුදුරුවො නැති තැන විවිධ දඟ වැඩ කරන පුංචි හාමුදුරුවරු බොහොම සන්සුන්ව විහාරාධිපති හිමියන් පිටිපස්සෙ දාන ශාලාවට වැඩියා. ජේෂ්ඨත්වය අනුව පිළිවෙලට උන් වහන්සේලා දැන් අසුන් අරගෙන. ඒ අතර පුංචි අයියා මලෝ දෙන්නෙකුත් වැඩ හිටියා.



විහාරාධිපති අළුවිහාරේ විමලරතන හිමි  සහ දන්සැල් කමිටුවේ අනුශාසක තෝරපිටියේ ආනන්ද හිමි

පුංචි හිමිවරුන් වෙනුවෙන්ම සැකසූ ආහාර පාන වලට ඒ අය බොහෝ රුචි උනා. ඒවා මේ පරිසරයෙදි නිතර දෙවේලෙ දකින්න නැති වීම ඊට හේතුව වෙන්න ඇති. අපිත් එක්ක කථා බහෙන් පස්සෙ උපුල්විල පන්සලේ උත්සවයේ සූදානම බලන්න බැහැරට වැඩිය පුන්න හාමුදුරුවො දානය අතර තුර එතනට ආයෙමත් වැඩියා.



කඳුරුවැවේ පුන්න හිමියන් 

අයියා මලෝ දෙදෙනා එක ලගින්ම අසුන් අරගෙන.

දානයෙන් පස්සෙ අතුරු පස විදියට විවිධ පළතුරු වර්ග සූදානම් කර තිබුනා. පුංචි හාමුදුරුවරුන් වළදන්න ආස කරන රඹුටන් විශේෂයෙන්ම එකතු කොට තිබුනා. අප රැගෙන ගිය විශාල රඹුටන් තොගයම ඒ හිමිවරුන් අතර බෙදා දුන්නා.

දානවේලෙන් පස්සෙ අපේ නඩේ උදෑසන ආහාරය නිම කොට නැවතත් බස් රථයට නැගුනෙ උපුල්විල පන්සලට යාමේ අරමුණින්. අළුවිහාරේ විමලරතන හිමියනුත් අපිත් එක්කම බස් රථයට නැගුනා. බස් රථය තැනින් තැන තාර ගැලවුන හුදෙකලා මාර්ගයක ඉදිරියට ඇදෙනවා. වටේටම තියෙන්නෙ එක දිගට පැතිරුණු කුඹුරු යාය. සමහර තැන් වල කුඹුරට යාබදව පවතින ගස් මත ඉඳිවුන පැල්කොටයක් දෙකක් දකින්න පුලුවන්. වල් අලින්ගෙන් වගාව බේරගන්න ඔය පැල්කොට අටවලා තියෙන්නෙ මහත්තයො. තවත් මඳ දුරක් ගියාට පස්සෙ ලොකු හාමුදුරුවො  බස් රථය එක් තැනක නවතන ලෙස සංඥා කලා. මාර්ගයට යාබද කැළෑවෙ කණින ලද වලක් අළුතින් පස් යොදා වසා ඇති බවක් දකින්න ලැබුනා. අපේ කණ්ඩායම ඒ දෙස කුතුහලයෙන් යුතුව බලා සිටියා.

මාර්ගයට පෙනෙන තිරප්පන්කඩවල  ගම්මානයේ සුන්දරත්වය


ලිපියේ දීර්ඝ බව වැඩ රාජකාරි අස්සෙන් බ්ලොග් කියවන්නට එන යන අයට බාධාවක් නිසා, ඉතිරිය ඊලග කොටසින් කියවමු.




මම කාමරේ අරින සිරා කොලුවා.


Wednesday, August 17, 2016

47 සාජන් සිල්වා

මොකද අයිසෙ නුපුරුදු මිනිහෙක් වගේ බලාන ඉන්නෙ ඔය පුටුව අරගෙන වාඩිවෙනවා. පොලිස් ස්ථානාධිපති තැන උපැස් යුවලට යටින් තමා දෙස බොහෝ වෙලාවක් බලා ඉන්නට ඇතැයි යන උපකල්පනයෙන් සාජන් සිල්වා අසල පුටුවකට හනි හනික බර වූයේ දෙගිඩියාවෙන් ගැහෙන හදවත වාරුකරගනිමිනි.

තමාට විරුද්ධව තියෙන විනය පරීක්ෂණයෙන් තමා නිවැරදි කරු කියලා ඔප්පු උනොත් ආයෙ රස්සාවට එන්න පුලුවන්. එතකං තාවකාලිකව වැඩ තහනම් කොරන්න කියලයි පොලිස් අධිකාරී තුමා නිර්දේශ කරලා තියෙන්නෙ.

මම මිනිහට පැනලා යන්න උදව් කලේ නෑ සර්...සාජන් සිල්වාගේ දෑස්  දිලිසෙන්නේ අපේක්ෂා භංගත්වයේ ගිණි පුපුරු වල එළිය පතිත වූවාක් මෙනි.

හරි අයිසෙ...මමත් හිතන්නෙ නෑ උදව් කලා කියලා...ඒත් නීතිය කාටත් එකයි. දැන් ඉතින් ගෙදර යනවා. පරීක්ෂණ වල ප්‍ර‍තිඵල අනුව අපි බලමුකො ඉස්සරහට වෙන දේ. මගේ රාජකාරිය මම කරන්නෙ. පොලිස් ස්ථානාධිපති තැන ඔහුගේ මේසය මත තිබූ යතුරුලියනය කරන ලද ලිපියකට තදියමේම අත්සනක් තබා නිල් පැහැති බෝල් පොයින්ට් පෑන මේසයේ කෙලවරට වන්නට විසි කලේය.

පොලිස් ස්ථානයේ කොරිඩෝවට පැමිණි සාජන් සිල්වාට ඔහුගේ දෙනෙත් බොද වී ඇති සෙයක් දැනෙයි. පොලිස් නිළ ඇඳුමෙන් සැරසුන විට වෙනදා දැනෙන අාඩම්බරය වෙනුවට මහත් අපහසුතාවක් සමග ලැජ්ජාවක් ඔහුගේ චිත්ත සන්තානයම පීඩාවට පත් කරයි.

තවත් මොහොතකට පසු නිළ ඇඳුමෙන් මිදී සාජන් සිල්වා පොලිස් ස්ථානයට යාබද කුඩා තේපැන් සල වෙත ඇදුනේ වෙනදා පුරුද්දට මිස තේ පානය කිරීමේ අවශ්‍යතාවයකින් නොවේ. අදින් පසු එළඹෙන හෙට දවස ජීවත් වෙන්නේ කෙසේදැයි ඔහුගේ සිත නොයෙක් වර ඔහුගෙන් විමසයි. වැඩ තහනම් කිරීමෙන් පසු රැකියාවක් නොකරන බිරින්දෑ සමග ගෙවන ජීවිතය දුෂ්කර එකක් වන්නට පුලුවන. සාජන් මහත්තයා යනුවෙන් ගම්මුන්ගේ ගෞරවයට පාත්‍ර වූ දවස් දැන් අතීතයට අයත් වූ එවා පමණකැයි ඔහුගේ සිත දෙස් දෙයි.

තේ පැන් හලේදී  තමා පසුකර යන අය තමා දෙස බලමින් සිනා සෙන අයුරක් ඔහුට දැනෙයි. ඒ අතරතුර අතීතයේ දවස් අතර මතකයෙන් සැරසරමින් හුන් ඔහුගේ දැහැන බිදුනේ මේ ස්ථානයේ වේටරයෙකු වූ බන්දුවා ගේ ආගමනය නිසාවෙනි.

සාජන් මහත්තයා අද වේලාසනම ඩියුටි ඕෆ් ද ? මම මේ හුග කාලෙකින් මේ වෙලාවට සාජන් මහත්තයා ගෙදර යන්න ලෑස්ති වෙලා ඉන්නවා දැක්කෙ. 

එදා මෙදාතුර පොලිසියේ රාජකාරි කල කාලය තුල මේ තේ පැන් සලේ තමාට වඩාත්ම හිතවත් තැනැත්තා බන්දුවා බව සාජන් සිල්වා දනියි. කට නොකැඩුන, තේ මණ්ඩි ඉවත්ව යන ලෙස හොඳින් පිරිසිදු කල කෝප්පයකම සැමදා තේ පිළිගැන්වූ ඒ හිතවත්කම, භය පක්ෂපාතී කම තවත් දින කීපයකින් අවසන් වනු ඇත.

සාජන් මහත්තයා තේකක් බොනවද ?  

අද තේ එපා බන්දුවො..මම වෙනදා පුරුද්දට ගෙදර යන ගමන් කඩේට ගොඩ වැදුනෙ. තව ටිකකින් ගෙදර ගිහින්ම තේ එකක් බොන්න බැරියැ.

නෑ නෑ එහෙම කියන්න එපා...අපේ කඩේ මහත්තයට අඩුවට හොඳ තේ කොළ වගයක් ලැබිලා..අද ගෙනාපු වණ්ඩු ආප්ප වගේකුත් තියෙනවා.

බන්දුවා ආනාරාධිතවම දුම් දමන තේ කෝප්පයක් සමග වණ්ඩු ආප්පයක්ද මේසය මත තබා රෙදි කඩකින් මේසය මනාව පිස දැමුවේය.

තේ කෝප්පය අතට ගෙන තොල ගාන්නට රුචියක් නොවූ සාජන් සිල්වා, තේ කෝප්පය තුලින් පෙනෙන තමාගේ ප්‍ර‍තිභිම්බය දෙස මඳ වේලාවක් බලා උන්නේය. එයින් පසු ගත වූ විනාඩි කීපයකදී තේ කෝප්පය අවසන් කොට වණ්ඩු ආප්පය මේසය මත තනිකොට තේ පැන් සලෙන් පිටතට පැමිණි හෙතෙම නිවස බලා පිටත් වූවේය.

වෙනදා නිවසේ ගේට්ටුව සමීපයට පැමිණෙන විට ඔහුගේ සිතට දැනෙන ප්‍ර‍හර්ශය අද නැත. වරදක් කොට කට්ටි පනිමින් සිටින ඇට්ටර කොල්ලෙකු මෙන් ඔහු හොර ගල් අහුලමින් ගේට්ටුවේ ඉහළින් වූ යකඩ කොක්ක පන්නන හඬට වෙනදා මෙන්ම ඔහුගේ ප්‍රිය බිරිඳ දේවිකා එහි දිව ආවාය.

අද මොකද මේ වේලාසනම ? ඇය මදක් වික්ෂිප්තව ඔහු දෙස බලා සිටියාය.

යමු ඇතුලට...මට ඔයාට කියන්න දෙයක් තියෙනවා. සාජන් සිල්වා වට පිට පරීක්ෂාවෙන් බලා ගේට්ටුව වසා දැමුවේය. මැදි වයස පසු වී විවාහ ජීවිතයට එළඹුන මේ යුවලට තවමත් දරු සම්පතක් ලැබී නැත. විවාහ වී වසර දෙකකට මඳක් වැඩි කාලයක් ගත වී ඇති නිසාම මෑතක සිට ඒ පිළිබඳ තැවෙමින් සිටි සාජන් සිල්වාට රැකියා තහනම අලුත් කම්පනයක් ඇති කොට තිබේ.

රාත්‍රී සේවා මුර අවස්ථාවකදී ඔහුගේ බාරයේ සිටි රිමාන්ඩ් සැකකරුවකු පලා යාමත්, හෙතෙම පොලිසියේ ඇස් වලට වැලි ගසමින් කාලයක් සැගවී සිට අපහසුවෙන් නීතියේ රැහැනට හසුකරගත්, නගරයම මුලා කල දැවැන්ත වංචාවක සැකකරුවකු වීමත් සාජන් සිල්වාට අවාසි සහගත තත්වයක් නිර්මාණය කොට තිබේ.

අද ඉදන් මගෙ වැඩ තහනම් කලා...සාලයේ වූ කුෂන් පුටුවක හිඳගත් වහාම සාජන් සිල්වා දේවිකා දෙස බලා තෙපළුවේය.

මොකක් ? විශ්මයෙන් මුව අයාගත් ඇය එක එල්ලේම ඔහු දෙස බලා සිටියේ මුල් වරට දුටු ආගන්තුක රුවක් දෙස බලා සිටිනා පරිද්දෙනි.

පෙරේදා ෂෙල් එකේ හිටිය හොරෙක් පැනලා ගියා මගෙ ඩියුටි වෙලාවෙ මගේ අතපසු වීමකින්. දැන් ලොක්කො මාව සැක කරනවා උගෙන් සල්ලි අරගෙන මම මිනිහට පැනලා යන්න උදව් කලා කියලා.

හරි වැඩක්නෙ උනේ ? මිනිහව ආයෙ දැක්කොත් ඔයාට අඳුනගන්න පුලුවන්ද ? 

අපොයි ඔව්...මිනිහගෙ ඇස් දෙක මට හොදට මතකයි. පරීක්ෂණ ඉවර වෙලා මම නිවැරදි කාරයා කියලා ඔප්පු උනොත් මට ආයෙමත් රස්සාව ලැබෙයි හිඟ පඩි සල්ලිත් එක්ක. ඒවට ඉතිං ගත වෙන කාලයක් ගැන හරියටම කියන්න බෑ. ඒ අතරතුර කාලෙ අර කාලකන්නියව ආයෙමත් අල්ලගන්න පුලුවන් උනොත් මට කියන්න පුලුවන් කට ඇරලා මම නිවැරදි කාරයා කියලා.

ඊළග මාසෙ ඉඳන් අපි කොහොමද ජීවත් වෙන්නෙ ? අලුතින් ගත්ත ෆ්‍රිජ් එකට තවම වාරික හතරයි ගෙව්වෙ.

ප්‍ර‍ශ්න ප්‍ර‍ශ්න...හැම තැනම ප්‍ර‍ශ්න...ඉහළට ගත් හුස්ම මහත් ආයාසයකින් පහළ දැමූ සාජන් සිල්වා ඇඳුම් උනා දමා නාන කාමරයට වැදුනේය. වතුර මල යටදී ඔහුට වෙනදා දැනෙන සිසිලස අද අහලකවත් නැත.

රාත්‍රී ආහාරයෙන් පසු නිදන ගවුමකින් සැරසුන දේවිකා තම සැමියා අසලින් හිඳගෙන ඔහුගේ උරහිසට වාරු වූවාය.

අපි පුලුවන් විදියකට ජීවතේ ගැටගහ ගමු. ඔයාට බැරි උනොත් මම හරි රස්සාවකට යන්නං. කරදර කාටද නැත්තෙ. මේ අපේ අපල කාලයක් වෙන්න ඇති.

ඇයගේ වදන් සාජන් සිල්වාට තරමක හෝ අස් වැසිල්ලකි. මුඩු වී කතරක්ව ගිය භූමියකට වැටෙන වැහි පොදක් වැන්නේය. ඔහු මහත් වූ ස්නේහයකින් ඇගේ හිස සිප ගත්තේය. මෙවන් බිරිඳක් පමා වී හෝ ජීවිතයට එකතු වීම කෙතරම් වාසනාවක්දැයි ඔහු එකනෙහිම කල්පනා කළේය.

මම අයියට හෙට කථා කරන්නං. එයා වැඩ කරන තොග බඩු බෙදන ඒජන්සියෙ ලොරියක බිල් ලියන වැඩක් හරි ඉල්ලගන්න බැරි වෙන එකක් නෑ. අපි අමාරුවෙන් හරි නැගිටිමු. ඈත පළාතකට යන ලොරියක රස්සාව කලොත් ඔයා දන්න අඳුනන අය මුලිච්චි වෙන්නෙත් නෑනෙ. ඔහුගේ හදවත ගැහෙනා රිද්මය ඇයට වෙනදාට වැඩියෙන් එදා දැනෙන්නට ඇත. බලාපොරාත්තු හීන වී පරාජිත මානසිකත්වයෙන් සිටි ඔහුට දැන් බලාපොරොත්තුවක් තිබේ.

දේවිකාගේ එකම සහෝදරයා ප්‍ර‍සිද්ධ සමාගමක නිෂ්පාදන ප්‍රාදේශීයව බෙදා හරින මධ්‍යස්ථානයක සේවය කල කෙනෙකි. වැඩ තහනමෙන් සති දෙකකට පමණ පසු ඔහුගේ මැදිහත්වීම මත නගරයෙන් එපිට පළාත් වලට භාණ්ඩ බෙදාහරින ලොරි රථයක මුදල් භාරකරුගේ රාජකාරිය ලබා ගන්නට සාජන් සිල්වාට හැකි වූවේය. වෙළඳ සැල් වෙත බිල් පත් නිකුත් කිරීමත්. මුදල් හා ලැබෙන චෙක්පත් සුරැකිව රැගෙන ඒමත් ඔහුගේ වගකීම් වලට අයත් වූවේය.

කාලය වෙනදා මෙන්ම නිසොල්මනේ ගලාන යයි. වැඩ තහනම පිළිබඳ තවමත් හාවක් හූවක් නැත. පොලිසිය හෝ නගරය දෙසට මේ අතර තුර කාලයේ අත්‍යවශ්‍යම දෙයකට මිස නිකරුනේ නොයන්නට පුරුදු වූ සාජන් සිල්වාගේ සැප දුක බලන්නට ඔහුගේ අතිජාත පොලිස් මිත්තරයන් නම් අමතක කළේ නැත. එහෙත් එදිනෙදා වැඩ රාජකාරි අස්සේ කල්යත්ම ඔවුන්ගේ ආගමනයත් මඳින් මඳ හීන වී ගියේය. කලාතුරකින් දවසක මහා මාර්ගයේ සේවයේ නිරත වෙන ට්‍රැෆික් රාළහාමිලා නම් තවමත් පෙර පරිදි අල්ලාප සල්ලාපයේ යෙදෙති.

එක් වෙහෙසකර සති අන්තයක රාජකාරිය අවසන් කොට පැමිණි සාජන් සිල්වා රූපවාහිනිය නරඹමින් විවේකීව උන්නේය. ඔහු අසලින් හිඳගත් දේවිකා ඔහුගේ අතක් සෙමෙන් පිරිමදිමින් සිටියාය. ඇය මෙලෙස හැසිරෙන්නේ ඇයට විශේෂ යමක් කියන්නට ඇති විටෙක බව ඔහු  අත්දැකීමෙන් දනියි.

මොකද දේවිකා හොරගල් අහුලන්නෙ.

ඇය සිනහවකින් ඔහුට සංග්‍ර‍හ කර දීර්ඝ කථාවකට මුල පිරුවාය.

අල්ලපු ගෙදර නැන්දා කිව්වා මහනුවර පැත්තෙ තැනක තියෙන දේවාලෙක දරුවො නැති අයට බාර හාර වෙලා එක එක වත්පිළිවෙත් කරනවලු. එතනට ගිය ගොඩාක් දෙනාට දැන් ප්‍ර‍තිඵල ලැබිලලු. අපි දෙන්නටත් වෙලාවක යන්නලු. ඔයාට නිවාඩු තියෙන වෙලාවක අපිත් යමුද ?

ඔයා ඕවා විශ්වාස කරනවද හැබෑටම ?  දොස්තරලට කරන්න බැරි වැඩ හොර දේවාල කාරයන්ට කරන්න පුලුවන්ද ? සාජන් සිල්වා ඇය දෙස බලා මහ හඬින් සිනහා වූවේය.

ඔයාට ඉතින් හැමදේම සැකයි. පොලිසියේ වැඩ කරපු හින්දද මන්දා. පණ්ඩිතයා නොවී යමුකො අනේ. ගියා කියලා අපිට අවාසියක් වෙන්නෙ නෑනෙ. කවුද දන්නෙ මේ ආරංචිය අපිට ලැබුනෙ අපේ වාසනාවකටද කියලා.

ඇගේ පෙරැත්තය නිසාම ඊළග සති අන්තයේ එහි යන්නට සාජන් සිල්වා තීරණය කළේය. දරුවකු කෙරෙහි දේවිකා දක්වන නොනිත් ආශාවේ තරම ඔහු හොඳින් දනියි. ඒ නිසාම ඇගේ යොජනාව ප්‍ර‍තික්ෂේප කරන්නට තරම් ශක්තියක් ඔහුට නැත.

මහනුවර බලා යන දිනයේ උදෑසනම වෙනදා නැති උද්යෝගයකින් දේවිකා හැඩ වැඩ වෙන අන්දම සාජන් සිල්වා බලා සිටියේය. සුදු පැහැති දිගු සායකින් සහ එයටම ගැලපෙන සුදු පැහැති බ්ලවුසයකින් සැරසී කොණ්ඩය තනි කරලට ගොතන ලද දේවිකා වෙනදාට වඩා සුන්දර යැයි ඔහුට සිතුනි.

මොකද අද අමුතු විදියට බලා ඉන්නෙ. ඇය හුරතල් වෙමින් ඔහුගෙන් විමසුවාය.

අද වෙනදාට වඩා ලස්සනයි....ඒකයි බලාන උන්නෙ.

ආ ඇත්තද...අද ගමන ගිහින් ඇවිත් දරුවෙක් එහෙම ලැබුනම අපේ ගෙදරම ලස්සන වෙයි. ඇයගේ අහිංසක ප්‍රාර්ථනය සාජන් සිල්වාගේ සිත යම් තරමකට සංවේදී කළේය.

මහනුවර දක්වා බස්රථයකින් පැමිණ, එතැන් සිට තුන් රෝද රථයක පිහිටෙන් නගරයෙන් හුදකලාව පිහිටා තිබූ දේවාල භූමියට ඔවුන් පැමිණෙන විට හිරු මුදුන් වී තිබුනි. උදෑසන සිට එහි පැමිණි තරමක ජනතාවක් දේවාල භූමියේ ඔබ මොබ ඇවිදිමින් අල්ලාප සල්ලාපයේ යෙදෙමින් සිටිති.


පේනවනෙ ඉන්න සෙනග. ඔයා මේවා බොරු කියලා ගත්කටටම කිව්වට හැමෝම එහෙම නෑ. මෙතනින් ප්‍රයෝජනයක් නැතිනම් මෙහෙම සෙනග එන්නෙ නෑනෙ. දේවිකා රහසින් මෙන් ඔහුට පැවසුවාය.

දැන් අවුරුද්දකට කිට්ටු ඇති මේ දේවාලෙ පටන් අරගෙන. කපු මහත්තයට මළ ගිය ඥාතියෙකුගෙ දිෂ්ඨියක් ලැබිලලු තෝත්තර කරන්නෙ. සමහර අයට බේත් ජාති ගැනත් කියනවලු. අපේ ගෙවල් ලග ජෝඩුවක් තමයි මටත් කිව්වෙ. ලෙඩ රෝග වලට වගේම දරුවො නැති අයටත් එක වගේම පිහිට වෙනවලු.

තමාගේම වයසේ යැයි කිව හැකි පුරුෂයන් දෙදෙනෙක් තරමක් ඈතින් උස් හඩින් පවසන ඇතැම් දේ සාජන් සිල්වාගේ සවනට වැටෙයි.

පැමිණි පිළිවෙලට හිඳගන්නට දේවාල භූමියේ ඉඳිකොට තිබූ කුඩා ශාලාවක ඉඩ පහසුකම් සලසා තිබුනි. හෝරා කීපයක් ගත වෙද්දී උදෑසනම එහි පැමිණි අයගේ වාරය අවසන් වී දේවිකාගේ අවස්ථාව එළැඹිනි. ඒ අවස්ථාවේ එහි පැමිණි දේවාලයේ අත වැසියෙක් කාරණය විමසා දෙදෙනාටම දේවාලය තුලට පිවිසෙන ලෙස උපදෙස් දුන්නේය.

ඔවුන් එහි පිවිසෙන විට විශාල දේවරූපයක් දෙසට හැරී සිටි දේවාලයේ කපු මහතා මහා හඬින් යාතිකා කරමින් සිටියේය. අනතුරුව ගැත්තන් දෙස නොබලාම හෙතෙම ඔවුනට බිම හිඳගන්නා ලෙස අතින් සංඥා කළේය.

පූජා වට්ටියට පඬුරු තියලා භක්තිමත් හිතෙන් වැඳ ගන්නවා හොඳයි.

උස්හඬින් ගැයුන දේව යාතිකා අතර ගත වූ විනාඩි ගනනාවකට පසු පළමු වතාවට දේවාලයේ ප්‍ර‍ධාන කපු මහතා දරුවන් පතා පැමිණි මේ යුවල දෙසට හැරුනේය. එකනෙහිම භූමිතෙල් වැදුන ගැරඩියෙකු සේ එතනින් පලා යන්නට ඔහු සැරසුනත් ඔහුට වඩා වේගයෙන් සාජන් සිල්වා ක්‍රියාත්මක වූවේය.

තෝව තමා යකෝ මම මෙච්චර කල් හෙව්වෙ....

සිදු වූ කිසිදෙයක් වටහාගත නොහී දේවිකා භයෙන් භීරාන්තව තම සැමියාගේ මුහුණ දෙස බැලුවාය.



මම කාමරේ  අරින සිරා කොලුවා.

Related Posts Plugin for WordPress, Blogger...